brand logo

ගැටලු කිහිපයක් නිසා බදාදා සිට පී.එච්.අයිලා කොවිඩ් රාජකාරිවලින් ඉවතට

15 June 2020

ලබන බදාදා (17දා) සිට කොවිඩ් රාජකාරිවලින් ඉවත්වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබේ. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් යොමුකර ඇති ලිපියක සඳහන් වන්නේ නිරෝධායන පනතේ බලතල පැවරීමේ ගැටලුව නිත්‍යානුකූල කිරීමට සෞඛ්‍ය බලධාරීන් අපොහොසත් වී ඇති බවයි. මේ නිසා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් එය අභියෝගයට ලක්කර ඇති බව සංගමයේ සභාපති උපුල් රෝහණ පෙන්වා දෙයි. ඇඳිරි නීතිය පැනවීමේ ක්‍රමවේදය මෙන්ම නිරෝධායන පනතේ නීතිරීති බලාත්මක නොකිරීම නිසා ඉදිරියේදී මූලික අයිතිවාසිකම් නඩු ගොනු වුවහොත් සිය සාමාජිකයන් අසීරුතාවයට පත් වන බව ඔහු අවධාරණය කර සිටියි. රට යළි විවෘත කිරීම සඳහා ඉදිරිපත් කළ මාර්ගෝපදේශ හතළිස් හයද නීතිගත නොකිරීම, එම මාර්ගෝපදේශ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම මත කොවිඩ් මාර්ගෝපදේශ ජනතාව හෑල්ලුවට ලක්කර ඇති බවද සභාපතිවරයා පෙන්වා දෙයි. එම නිසා සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කරන අතලොස්සක් වූ පිරිසටද මෙමගින් පීඩාවට ලක්ව ඇති බව ඔහු අවධාරණය කර සිටියි. මෙම කරුණු පදනම් කර ගනිමින් ලබන බදාදා සිට කොවිඩ් රාජකාරිවලින් ඉවත් වන බව සභාපති උපුල් රෝහණ අවධාරණය කර සිටියි. උදයජීව ඒකනායක
 

More News..