brand logo

ගාල්ල ධීවර වරායේ අයිස් යන්ත්‍රාගාරය පෞද්ගලික අංශයට බදු දීමේ සැළසුමක්

22 July 2019

ලංකා ධීවර සංස්ථාවට අයත් ගාල්ල වරාය භූමියේ මෙහෙයුම් කටයුතු සිදුකරන අයිස් යන්ත්‍රාගාරය පුද්ගලික ව්‍යාපාරිකයෙකුට බදු දීමේ සැලසුමක් රහසිගතව ක්‍රියාත්මක වන බව ලංකා ධීවර සංස්ථාවේ පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ජේ . එච් නිශාන්ත මහතා පැවසීය. ඒ අනුව , වත්මන් සභාපති කීර්ති මුණසිංහ මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩලය එක්ව මෙම අයිස් යන්ත්‍රාගාරය පෞද්ගලික අංශයට වසර 25 ක් සඳහා බදු දීමට අදාලව අවිධිමත් ටෙන්ඩර් පත්‍රයක් ඉකුත් 17 වැනි දින සවස නිකුත් කර ඇත. ධීවර සංස්ථා සේවකයින් හෝ වෘත්තීය සමිති දැනුවතත් කිරීමකින් තොරව මෙම ටෙන්ඩර් නිකුත් කිරීම සිදු කළ බවත් අනතුරුව එදිනම සවස සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතුව සේවක හමුවක් පැවති බවත් සේවක සංගම් ලේකම්වරයා අප කළ විමසීමකදී සඳහන් කළේය. එම හමුවේදී මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ බවත් සභාපතිවරයා ඒ කිසිවක් නොදැන සිටි පරිදි පිළිතුරු ලබා දුන් බවද ඔහු පැවසීය. කෙසේ නමුත් සභාපතිවරයා මෙම මස පළමුවැනිදා මේ සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ඇති අතර තොරතුරු වසන් කිරීම සම්බන්ධව යටි අරමුණක් පවතින බවද ඒ මහතා අවධාරණය කළේය. මේ අතර ගාල්ල ධීවර සංස්ථා සේවකයන් 17 වැනි දින සවසම ගාල්ල වරාය පරිශ්‍රයේදී මීට විරුද්ධත්වය පළ කරමින් උද්ඝෝෂණයක්ද දියත් කර ඇත. සුනාමි ව්‍යසනයෙන් පසුව ජපාන ආධාර යටතේ 2005 වර්ෂයේදී මෙම සීතාගාර සංකීර්ණය ගාල්ල ධීවර සංස්ථාවට ලැබී තිබේ. අයිස් යන්ත්‍රාගාරයක් සීතාගාර පද්ධතියකින් සමන්විත මෙම යන්ත්‍රය මගින් දෛනිකව කිලෝග්‍රෑම් 50 අයිස් කැට 1204 ක් නිෂ්පාදනය කෙරේ. මෙහි උපරිම ධාරිතාව ලබා ගැනීම තුළින් මාසිකව රුපියල් මිලියනයකට අධික ලාභයක් ලැබිය හැකි බවද ලේකම්වරයා පැවසීය. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ ජේ . එච් නිශාන්ත මහතා, " මෙම යන්ත්‍රය ධීවර සංස්ථාවට විශාල සම්පතක්. ඇත්තටම මේකෙන් නිසි ප්‍රයෝජන ගත්තේ නෑ. අදාළ නඩත්තු කටයුතු කරගෙන යම් ප්‍රමාණයකට අපි වැඩ ගත්තා. නමුත් දැනට වසරක හමාරක සිට මෙහි කිසිම නඩත්තුවක් සිද්ධවුණේ නෑ. නඩත්තු කිරීම වෙනුවට ඉහළ නිලධාරීන් මෙය තම හිතවතුන්ට බදු දීලා මුදල් උපයන්න සැලසුම් කරනවා. ඒ වගේම මේ ආශ්‍රිතව සේවය කරන සේවකයින් 30 කට ආසන්න ප්‍රමාණයකට මේ නිසා රැකියා අහිමි වීමේ අවදානමක් තියෙනවා. අපි මේ පිළිබඳව ඔවුන්ගෙන් ප්‍රශ්න කරා . ඒ අය කියන්නේ අදාළ සේවකයින් ඉදිරියේදී ධීවර වරායට අනුයුක්ත කරනවා කියලා. නමුත් නිශ්චිත තීන්දුවක් නෑ. මෙය මුළුමනින්ම සේවකයින් නොමඟ යැවීමක්" යැයි පැවසීය. මේ අතර අදාළ ටෙන්ඩරය නිකුත් කිරීමේදී ධීවර සංස්ථාව මෙම යන්ත්‍රය ධීවර වරායට ලබාදී අනතුරුව ටෙන්ඩර් නිකුත් කිරීම සිදුකර ඇත. මෙම ටෙන්ඩරය සම්බ්න්ධව පුවත්පත් දැන්වීමක් හෝ නිකුත් කර නොමැති බවද හෙතෙම කියා සිටියේය. මේ සම්බන්ධයෙන් අප ධීවර සංස්ථා සභාපති කීර්ති මුණසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඔහු අදාළ පැනයට පිළිතුරු දීමක් සිදුකළේ නැත. කෙසේ නමුත් ධීවර ස්ංස්ථාව මූල්‍යමය වශයෙන් ගැටලු රැසකට මුහුණ දී සිටින අවස්ථාවක සංස්ථාවට ලාභ ලබාදුන් ගාල්ල ධීවර සංස්ථාව වක්‍රාකාරව පුද්ගලීකරණය කිරීමට දරන උත්සහයට විරුද්ධව ඉදිරියේදී පෙළ ගැසෙන බව ලංකා ධීවර සංස්ථාවේ පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ජේ . එච් නිශාන්ත මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. ශිරන්තනි මානවඩු
 

More News..