brand logo

ගාල්ලේ දී එන්නත විදගත් පිරිසේ නාම ලේඛනය කැඳවයි

15 June 2021

ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදී මෙම මස 05 වැනිදා සහ 07 වැනිදා යන දිනවලදී කොවිඩ් එන්නත් ලබාගත් අයගේ සම්පූර්ණ නාම ලේඛනය ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලබාදෙන ලෙස, ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල, දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට සහ උණවටුන ඖෂධ ගබඩාවේ පාලකවරයාට ඊයේ (14 වැනිදා) නියෝග කළේය. ඊට අමතරව උණවටුන ඖෂධ ගබඩාවට ලැබුණු ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාවට අදාළව ලැබුණු එන්නත් ප්‍රමාණය, ඒවායින් බෙදාහරින ලද එන්නත් ප්‍රමාණය සහ ඉතිරි එන්නත් ප්‍රමාණය පිළිබඳ විස්තරද එන්නත් කරන ලද ස්ථානයේ ආරක්ෂිත සීසීටීවී දර්ශන සියල්ල ද ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලබාදෙන ලෙස මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට ඉකුත් 05 වැනි දින සහ 07 වැනි දින බස්නාහිර පළාතේ සිට විශාල පිරිසක්, දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණ ඇති බවට ලද තොරතුරු අනුව ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා එම නියෝග කළේය.

 

මෙම සිද්ධියේදී අතරමැදියකු ලෙස කටයුතු කර ඇති බවට සැකකරන, දැනට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන පුද්ගලයකුගේ දුරකථන වාර්තා ලබා දෙන ලෙසද මහෙස්ත්‍රාත්වරයා අදාළ දුරකථන සමාගමට නියෝග කළේය.

මෙම සිද්ධිය පිළිබඳ ගාල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනාධිපතිද සිල්වාගේ උපදෙස් පරිදි කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් නිශාන්ත සහ පොලිස් පරීක්ෂක කේ.ජී.ඩී.සී. ධීරසිංහ අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබිණි. ඉෂාර රත්නකාර
 

More News..