brand logo

ගායනයට වඩා රංගනයට කැමති රයිනි

03 May 2022

චරිතවලට ආදරය ලැබෙන්නේ හරිම අපූරු විදිහට. සමහරුන්ගේ ගීත කොයි තරම් ජනප්‍රිය වුණත් මිනිස්සුන්ගේ ආදරය ලැබෙන්නේ නැහැ. සමහරු එක ගීතයක් නිසා උපරිම ජනප්‍රියත්වයට පත්වෙනවා. නමුත් බොහෝ දෙනෙක්ට මේ ජනප්‍රියත්වය තියෙන්නේ මොහොතයි. ගීතය නැති වෙනකොට ජනප්‍රියත්වයත් නැති වෙනවා. මේ පෙරළි අතරේ තාමත් එදා වගේම මිනිසුන්ගේ හදවතේ ඉන්න චරිතයක් සමග මොහොතක් කතා කරන්නයි අද සූදානම... ඇය පුංචි කාලේ ප්‍රේක්ෂකයන්ගේ හදවතට ළංවෙන්නේ චන්ද්‍රලේඛාගෙයි රූකාන්තගෙයි දුව විදිහට.නමුත් ක්ෂේත්‍රයට පැමිණි ඇය ගායනා කළ ගීත ප්‍රමාණය ඉතා සුළු ප්‍රමාණයක් වුණත් ඒ හැම ගීතයක්ම ප්‍රේක්ෂකයා අතර උපරිම ජනප්‍රියයි. ඇයත් ඒ තරමටම ජනප්‍රියයි. කෙළින් කතා කරන කෙළින් ජීවත්වන රයිනි චාරුකා සමග මොහොතක් කතා කරන්න අපි කල්පනා කළේ මේ රහස ගැන දැන ගන්නමයි... ‘‘ඒක මගේ වාසනාව වෙන්න ඇති. ‘චංචල දෑසේ’ සහ ‘නීල කඳු ගැටේ’ ගායනා කරලා අවුරුදු අටක් වෙනවා. එදා වගේම අදත් ඒ ගීත ජනප්‍රියයි. අනික මම ජනප්‍රියත්වය පස්සේ එල්ලීගෙන යන කෙනෙක් නෙවේ. වැඩේ හොඳට කරන්නයි මහන්සි වෙන්නේ. මම අවසානයට ගායනා කරපු ‘කළුවරට හිත බය හින්දා’ ගීතයත් සෙමින් සෙමින් ප්‍රේක්ෂකයන් අතර ලැඟුම් ගනිමින් තියෙනවා. එදා වගේම මට රසික ප්‍රතිචාර ලැබෙන්නේ හරි දෙයක් කරපු නිසා කියලා මම විශ්වාස කරනවා.’’ රූප රචනයට වඩා ගීතයේ හඬට රයිනි වැඩි කැමැත්තක් ලබාදෙන බව තමයි පවසන්නේ... ‘‘මම හැම වෙලාවකම ගීතයේ හඬ විශ්වාස කරන කෙනෙක්. වීඩියෝ එකක් කියන්නේ ගීතයට ආභරණයක් පමණයි. එය අත්‍යවශ්‍ය දෙයක් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මගේ අම්මා, තාත්තා ගීත ගායනා කරන කාලෙත් වීඩියෝ තිබ්බේ නැහැ. නමුත් ඒ හඬේ ප්‍රබලකමටයි මිනිස්සු ආදරේ කළේ. අදටත් ඒක එහෙමයි.’’ මේ දිනවල නැවතත් ප්‍රසංග වේදිකාව ආරම්භ වීම නිසා රයිනි කාර්යබහුල වෙලා. ඇය රියැලිටි වැඩසටහනකටත් සම්බන්ධ නිසා කාලය ගැන ලොකු ප්‍රශ්නයක් ඇතියි කියලා මට හිතුණා... ‘‘මම වැඩ කරන්න කැමති කෙනෙක්. නිකන් ඉන්න කොහෙත්ම ආසාවක් නැහැ. ඊයෙත් රෑ ෂෝ එකකට ගිහින් පාන්දර ආවේ. නමුත් නැවතත් උදෙන්ම වැඩ පටන් ගන්නවා. අවුරුදු දහතුනක් තිස්සේ මම එක දිගට වැඩ කරන කෙනෙක්. කාර්යබහුල වෙන්න මම හුඟක් කැමතියි.’’ රයිනි අවිවේකී චරිතයක් වගේම ඕනෑම දෙයක් තනියම කරගන්න පුරුදු වෙච්ච කෙනෙක්. අනික් අය එනකම් බලාගෙන ඉන්න සිරිතක් ඇයට නැහැ... ‘‘අම්මා තාත්තා දෙන්නත් හුඟක් කාර්යබහුල අය. ඒ කාලේ ඉඳලම අම්මයි, තාත්තයි ප්‍රසංගවලට ගියාම අපි අපේ වැඩ කරගන්න පුරුදු වුණා. ඇමරිකාවේ ඉන්නකොටත් මගේ වැඩ මම තනියමමයි කරගත්තේ. ඒක නිසා දෙයක් තනියම කරගන්නවා කියන එක මට ප්‍රශ්නයක් නෙවේ. රාත්‍රි ප්‍රසංගවලට මම වාහනේ ඩ්‍රයිව් කරගෙන තනියම යනවා. මම හිතන්නේ අපි කාගෙන්වත් යැපෙන්නන් නොවිය යුතුයි. ස්වාධීනව ජීවත් වීමේ ශක්තිය කාන්තාවකට තිබිය යුතුයි.’’ පුංචි කාලේ ඉඳලම සංගීත පරිසරයක හැදුණ ඇය මුලින්ම ප්‍රසංග වේදිකාවට එන්නේ 2009 වර්ෂයේ. ඒ, අම්මයි තාත්තයි එක්ක... ‘‘පුංචි කාලේ ඉඳලම ගීත කිව්වට 2009 අගෝස්තු 14 තමයි මුලින්ම ප්‍රසංග වේදිකාවට ගොඩ වෙන්නේ. ඒ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී. එදා අපේ පවුලේ ප්‍රසංගයක් තිබුණේ. මට තාමත් මතකයි එදා ගීතවලට ලැබුණු ප්‍රතිචාර.’’ එදා මෙදා තුර ඇය ගායනා කර ඇත්තේ අතේ ඇඟිලි ප්‍රමාණයටත් වඩා අඩු ගීත ප්‍රමාණයක්. අම්මා තාත්තාගේ වාර්තාගත ගීත ලැයිස්තුවට වඩා එය ඉතා කුඩා ඉලක්කමක්... ‘‘මම හිතන්නේ අම්මා ගීත 800කට වඩා කියලා තියෙනවා. තාත්තත් ගීත 500කට වඩා කියලා තියෙනවා. නමුත් මම කරලා තියෙන්නේ ගීත අටක් විතර. මගේ වාසනාව කියන්නේ අවුරුදු දහතුනක් මම ක්ෂේත්‍රයේ රැඳී ඉන්නේ මේ ගීත අට නිසා. මාව භාරගත්තු ප්‍රේක්ෂකයෝ කවදාවත් මාව අතහැරියේ නැහැ. මම මගේ අම්මගේ, තාත්තගේ ගීත ගායනා කරලා ප්‍රේක්ෂකයන් අතරට ගියේ නැහැ. ඒ ගැන මට සතුටුයි. සමහරු මට කියනවා තාත්තා අනිත් අයට ඕන තරම් ගීත කරන එකේ ඔයත් ලියාගන්නකෝ කියලා. නමුත් අපේ තාත්තගේ හැටි දන්නේ මමනේ. තාත්තා ලේසියෙන් ගීත කරලා දෙන්නේ නැහැ. අනික එයා ගීතයක් කරන්න කාලයක් ගන්නවා. කරන්නම් වාලේ ගීත කරන්න එයා කැමති නැහැ. කවදා හරි මට ගැළපෙන ගීතයක් ලැබුණොත් එයා කරලා දෙයි.’’ ඇමරිකාවේ පදිංචි වෙන්න අවස්ථාව තියෙද්දිත් රයිනි ලංකාවට එන්නේ මෙහේ ඉන්න තියෙන කැමැත්ත නිසාමයි... ‘‘2007 වර්ෂයේ මම ලංකාවට එනකොට මගේ ගීත අහලා තිබුණට ප්‍රේක්ෂකයෝ මාව හඳුනන්නේ නැහැ. කවුරුත් ආදරේ කළේ රූකාන්තගෙයි, චන්ද්‍රලේඛාගෙයි දුව නිසා. මාව නොදැන මට ආදරය කරපු ඒ අයව දාලා ආපසු යන්න මට හිත හදාගන්න බැරිවුණා. ඒ නිසා මම තීරණය කළා මැරෙනකම්ම ලංකාවේ ඉන්නවා කියලා.’’ ගායනයට වගේම රයිනි රඟපෑමටත් දක්ෂයි කියලා ඔප්පු කරලා පෙන්නලා තියෙනවා... ‘‘මම ‘සිංහාවලෝකනය’ චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ අවුරුදු දහඅටේදි. එතකොට මම ඇමරිකාවේ උන්නේ. කොහොම හරි ඒ ෆිල්ම් එකෙන් පස්සේ තව එකකට ආරාධනා ලැබුණා. ඒ චිත්‍රපටයේ අනවශ්‍ය දර්ශන තිබුණ නිසා මම බැහැ කිව්වා. ඇමරිකාවේ ඉන්න සංකර කෙල්ලෙක් කියලා හිතලා තමයි මට ඒ චරිතයට කතා කරන්න ඇත්තේ. නමුත් රයිනි කියන්නේ හැම දේකටම යන කෙල්ලෙක් නෙවෙයි. මගේ තියෙන වැදගත් දේවල් ටික ආරක්ෂා කරගෙන තමයි මම වැඩ කරන්නේ.’’ බොහෝ අය කියන්නේ රයිනි තමන්ගේ ශරීරය ගැන කිසිම සැලකිල්ලක් නැහැ කියලා... ‘‘මට කවදාවත් කෙට්ටු වෙන්න ඕන කියලා හිතිලා නැහැ. හොඳට කාලා සතුටින් ඉන්නවා. හැබැයි පහුගිය දිනවල මං මගේ බර කිලෝ 30ක් අඩුකර ගත්තා. ඒ මට ඕන නිසා.. ඇත්තටම රයිනි කියන්නේ තමන් කැමති ක්‍රමයට, අනිත් අයට කරදරයක් නැතිව ඉන්න කෙනෙක්. කවුරුත් කියන ඒවා මට වැඩක් නැහැ.’’ තාත්තා දේශපාලනය කළාට රයිනිට නම් එය අකමැතිම මාතෘකාවක්... ‘‘මම කිසිම දවසක තාත්තා එක්ක දේශපාලනය ගැන කතා කරන්නේ නැහැ. එයාගේ උදව්වට යන්නෙත් නැහැ. හැබැයි තාත්තා ඒ කාලේ ඉඳන්ම දේශපාලනයට කැමතියි. ඒ නිසා එයාට එපා කියන්න මට අයිතියක් නැහැ. මොකද අපි හැමෝටම ආසා දේවල් තියෙනවානේ. මම කැමති මගේ පාඩුවේ නිදහසේ ඉන්න.’’ ඒ නිසාම වෙන්න ඇති රයිනි තනියම ඉන්න තීරණය කරලා තියෙන්නේ. ඉතින් අපි ඇයට ඒ පැනය ඉදිරිපත් කළා... ‘‘මම, මගේ ගෙදර තනියම නිදහසේ ජීවත් වෙනවා. තාත්තා නම් ගෙදර පැත්ත පළාතක එන්නේ නැහැ. මාස ගාණකින් ගෙදර අයව දැක්කෙත් නැහැ. නමුත් අපි එකට නොහිටියට පිස්සුවෙන් වගේ එකිනෙකාට ආදරය කරනවා. නංගි ඉන්නෙත් තාත්තලා එක්ක. මම තනියම හිටියත් හදවතින් අපි හැමෝම එකට ජීවත් වෙනවා.’’ කොච්චර හිනාවෙලා උන්නත් මිනිස්සුන්ට ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්න තමයි මිනිස්සුන්ව ඉස්සරහට තල්ලු කරගෙන යන්නේ.. ප්‍රශ්නත් එක්ක ජීවත් වීම යථාර්ථය ලෙස දකින්න රයිනි චාරුකා නිතරම උත්සාහ කරනවා. ‘‘අද හැම කෙනෙක්ම ඉන්නේ ප්‍රශ්න ගොඩක. නමුත් එහෙමයි කියලා කඩා වැටෙන්න බැහැ. මේ දේවල් මම හැමදාම ඉගෙන ගත්තේ මගේ පවුලෙන්. මගේ අම්මා ජීවිතේ බොහෝ ප්‍රශ්නවලට මුහුණ දුන්නා. හැබැයි තාත්තා අම්මත් එක්ක නොවෙනස්ව උන්නා. ඒ දෙන්නා අද සතුටින් ඉන්නේ ජීවිතේ ප්‍රශ්නවලට මුහුණ දීලා ඉස්සරහට ගිය හින්දා. මමත් කැමති හැම වෙලේම පොසිටිව් විදිහට හිතන්න.’’ අද පවුලේ හැමෝම සතුටින් ඉන්නේ ඉවසීම හා ඕනෑම දේකට මුහුණ දීමට ඇති ශක්තිය නිසා කියලයි රයිනි හිතන්නේ... ‘‘ගොඩක් දෙනෙක් හිතාගෙන උන්නා අම්මයි තාත්තයි අපි ගැන විතරයි බැලුවේ කියලා. එයාලා අක්කයි, අයියයි ගැන හිතුවේ නැහැ කියලා. ඇත්තටම ඒ මොහොතේ අක්කගෙයි අයියගෙයි තාත්තා කැමති වෙලා නැහැ එයාලව අපි ළඟට ගන්නවට. අම්මා ඉවසීමෙන් ඒ ප්‍රශ්නෙට මුහුණ දීලා තියෙනවා. ඒ නිසා අද අක්කයි, අයියයි දෙන්නත් අපි එක්ක සතුටින් ඉන්නවා. මමත් ඒ වගේ ඕනෑම දේකට මුහුණ දෙන්න පුළුවන් චරිතයක්. මම හිතන්නේ අම්මගේ ආත්ම ශක්තිය තමයි මට තියෙන්නේ කියලා. තාත්තා ඊට වඩා වෙනස්. එයා ආගමට දහමට ගොඩක් ලැදියි. ආගමට ළංවුණොත් ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් කියලා එයා විශ්වාස කරනවා. මගේ තාත්තට කේන්ති නොයන්නෙත් දෙවියන්ට බොහෝ සෙයින් ළංවෙලා ඉන්න නිසා වෙන්න ඇති.’’ තමන්ගේ ඉලක්කවලට ගමන් කිරීම රයිනිගෙ එකම අධිෂ්ඨානයයි... ‘‘ප්‍රශ්න මැද්දෙන් යන ජීවිතේ තමයි සාර්ථකම. හැමදාම මම මගේ ඉලක්ක වෙනුවෙන් ජීවත් වෙන කෙනෙක්. අවුරුදු 16දී මම සංගීතය කරන්න ගත්තා. 24න් බැන්දා. බැන්දට පස්සේ මම වැඩ කරන එක ටිකක් අඩු කළා. පහුගිය කාලේ මටම තේරුණා මගේ කැමතිම සංගීතය නතර කරලා මොකද කරන්නේ කියලා.. මටම දැනුණා මම ආතතියෙන් ඉන්නවා වගේ. දිගටම මෙහෙම උන්නොත් මට යහපතක් නොවෙන බව තේරුම් ගත්තා. ඉතින් මම තීරණය කළා වෙනස් වෙන්න ඕන කියලා. ගිය අවුරුද්දේ අගෝස්තුවල මම තීරණය කළා වෙනස් වෙන්න. මගේ තිබ්බ ප්‍රශ්න ගැන මම, මාත් එක්කම කතා කරලා හැම ප්‍රශ්නයකින්ම එළියට ආවා. මනුරංග හා දිනේෂ් සමග එකතු වෙලා ‘කළුවරට හිත බය හින්දා’ ගීතය කළා. ඒ ගීතය මට ලොකු හයියක් වුණා මගේ ජීවිතේ ආපහු පටන් ගන්න.’’ සමහර වෙලාවට මට හිතෙනවා මම කළුවරට බයේ හැංගිලා උන්නාද කියලා. ඒ නිසා මේ ගීතයත් සමග මගේ ජීවිතයෙත් බැඳීමක් තියෙනවා කියලා මට දැන් දැනෙනවා. මම කළුවරෙන් එළියට ආවා. දැන් මම කළුවරට බය නැහැ. කළුවරෙන් එළියට එනකොට පෙනුමත් වෙනස් කරගන්න ඕන කියලා මට හිතුණා. ඔය වෙද්දි මම කිලෝ 113ක් බරයි. දැන් කිලෝ 89ක් දක්වා බර අඩු කළා. මටම දැනුණා මම වෙනස් වුණා කියලා. මම හුඟක් සතුටින් ඉන්නේ කියලා දැන් මට දැනෙනවා. පහුගිය කාලේ මම යාළුවෝ ආශ්‍රය කළේ අඩුවෙන්. දැන් ඉස්සර වගේ ආයෙමත් යාළුවෝ අතරේ සතුටින් ඉන්නවා. මම ම ජීවිතේ අවබෝධ කරගෙන වෙනස් වුණා. දැන් මම ආයෙමත් ඉලක්කය වෙත ගමන් කරනවා.’’ එක හුස්මට රයිනි කියාගෙන ගියා... රයිනිගෙන් ජීවිතේ බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන් කියලා මට සිතුණා. ජීවිතේ වරදින්නේ තමන්ටමයි... නමුත් වැරදුණ තැන් නිවැරැදි කරගැනීම බුද්ධිමත් බවේ හොඳම ලක්ෂණයයි. මේ බුද්ධිමත් බවින් රයිනිගේ හදවත පිරී තිබෙනවා... ඇගේ අවසාන ඉලක්කයත් ඒ අයුරින්ම ජයග්‍රහණය කරන බව ඇය පවසන්නේ උතුරා ගිය සතුටින්.. ‘‘රංගනයට මම හුඟක් කැමතියි. මම දන්නවා මම කැමති කුමන චරිතයකද කියලා. ඒ නිසා මේ දවස්වල කෙටි චිත්‍රපටයක් සඳහා සූදානම් වෙනවා. එය මම කැමති ආකාරයට මගේම ක්‍රමයකට කරනවා. කාලයක් මම රංගන පාසලක ඉගෙන ගත්තා. ඇත්තටම ගායනයට වඩා මම කැමැත්තෙන් උන්නේ රංගනයට. අනාගතයේ රයිනි චාරුකා කියන නිළිය ලෙසින් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ව මුණගැහෙන්නත් බලාපොරොත්තු වෙනවා.’’ ක්‍රිෂාන්ත පුෂ්පකුමාර
 

More News..