brand logo

ගානියාගේ දුරකථනය රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර විශ්ලේෂණ වාර්තාවක් කැඳවීමට අවසර දෙනවාද? නැද්ද?

09 January 2020

වාහනයකින් පැහැරගෙන යාමට ලක්වූ බව කියන ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමති නිලධාරිනියට අයත් ජංගම දුරකථනය රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර විශ්ලේෂණ වාර්තාවක් කැඳවීමට අවසර දෙනවාද? නැද්ද? යන නියෝගය ලබන 21 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් අද (09) නියෝග කරන ලදී. මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇප මත මුදාහරිනු ලැබ සිටින ගානියා බැරිස්ටර් ෆ්‍රුන්සිස් නමැත්තිය අධිකරණය හමුවේ පෙනී සිටියාය. එහිදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා විසින් විමර්ශන කටයුතු සඳහා රහස් පොලිසිය විසින් ඉල්ලා තිබූ තම සේවාදායිකාවට අයත් ජංගම දුරකථනය අධිකරණය වෙත බාර දුන්නේය. ජේෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාල දුරකථනය රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර විශ්ලේෂණ වාර්තා කැඳවීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය. එහිදී රජයේ රස පරීක්ෂකවරයා විසින් මෙම දුරකථනය සම්බන්ධයෙන් විශ්ලේෂණය කළ යුතු ප්‍රශ්න මාලාවක් අඩංගු ලේඛනයක් ද මෙම අවස්ථාවේ රහස් පොලිසිය විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කළ ලදී. එම අවස්ථාවේදී සැකකරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ජංගම දුරකථනය තුළ සැකකාරිය විසින් ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය සමඟ පැවැත්වූ නිල සංවාද හා ඇමතුම් ඇතුළත්ව තිබෙන බව පෙන්වා දුන්නේය. තානාපති වරප්‍රසාද පනත මෙන්ම වියානා සම්මුතියේ 38 (2) වගන්තිය යටතේ එම දුරකථන ඇමතුම් සඳහා තානාපති මුක්තිය හිමි වන බව ද නීතිඥවරයා සඳහන් කර සිටියේය. එම තත්ත්වය යටතේ අදාළ දුරකථනය රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කිරීමට හැකියාවක් තිබේ ද? යන නීතිමය ගැටළුව මතු වන බවද විත්තියේ නීතිඥවරයා කරුණු දක්වා සිටින ලදී. ඉදිරිපත් වූ එම කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මෙම කාරණය සම්බන්ධයෙන් අධ්‍යයනය කර තීරණයකට එළඹීම සඳහා තමන්ට කාලය අවශ්‍ය බව සඳහන් කළාය. ඒ අනුව අදාළ ඉල්ලීම පිළිබඳ තම නියෝගය ලබන 21 වනදා ප්‍රකාශයට පත් කරන බව මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කරන ලදී . එතෙක් අදාළ ජංගම දුරකථනය සුරක්ෂිතව අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය භාරයේ රඳවා තැබීමට ද මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කළාය. මේ අතර විත්තියේ නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් ඉකුත් නඩු දිනයේ තම සේවාදායිකාවගේ දරුවන් තිදෙනා සහ මව ස්විස්ටර්ලන්තයට පලා ගොස් ඇති බවට පැමිණිල්ල විසින් ප්‍රකාශ කළ ද ඔවුන් නිවාඩුවක් ගත කිරීම සඳහා සිංගප්පූරුවට ගිය බවත් ඒ බව තහවුරු කෙරෙන ලේඛන අද දින අධිකරණයට ඉදිරිපත් කරන බවත් සඳහන් කර සිටියේය. වැඩි දුරටත් කරුණු දැක්වූ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා මෙම සැකකාරියගේ පදිංචිය දැක්වෙන ලේඛන අධිකරණයට ඉදිරිපත් කළ බවත් ඒවායේ අඩංගු ඇයගේ ලිපිනය මේ වනවිට ජනමාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්කර ඇති නිසා මේ වන විට ඇයගේ නිවෙස ඉදිරිපිට අනවශ්‍ය ලෙස පුද්ගලයින් ගැවසීමේ තත්ත්වයක් මතුව තිබෙන බවත් පෙන්වා දුන්නේය.කෙසේ වෙතත් මහේස්ත්‍රාත්වරිය විසින් මෙම කරුණු සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් ලබා දුන්නේ නැත. ඊට අමතරව සෑම මසකම අවසන් ඉරුදින රහස් පොලිසියට ගොස් වාර්තා කරන ලෙස ද මෙහිදී මහේස්ත්‍රාත්වරිය විසින් සැකකාරියට නියෝග කරන ලදී. අනතුරුව පැමිණිල්ල ලබන 21 වනදා කැඳවීමට නියෝග කෙරුණු අතර එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය විසින් රහස් පොලිසියට නියෝග කළාය. (අධිකරණ වාර්තාකරු)
 

More News..