brand logo

ගානියාගේ ජංගම දුරකථනය රජයේ රස පරික්ෂකට යොමු කරන ලෙස රහස් පොලිසියට නියෝග

21 January 2020

ඉකුත්දා පැහැරගෙන යාමට ලක්වූ බව කියන ශ්‍රී ලංකාවේ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන නිලධාරිනියක වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නමැත්තිය විසින් භාවිතා කළ ජංගම දුරකතනය රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර විශ්ලේෂණ වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් අද (21) රහස් පොලිසියට නියෝග කරන ලදී. මෙම දුරකථනය මීට පෙර නඩු දිනයේදී සැකකාරියගේ නීතිඥවරු විසින් අධිකරණයට භාරදී තිබුණි. එම අවස්ථාවේ අදාළ දුරකථනය රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර විශ්ලේෂණ වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙස රහස් පොලිසිය විසින් අධිකරණයෙන් ඉල්ලා සිටියහ. එදින එම ඉල්ලීමට විරෝධය පළ කළ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා සැකකාරිය විසින් අධිකරණයට භාර දී තිබෙන මෙම ජංගම දුරකථනය තුළ ඇය විසින් ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය සමඟ සිදුකළ නිල සන්නිවේදන ඇමතුම් ද අන්තර්ගතව තිබෙන බැවින් වියානා සම්මුතිය සහ තානාපති වරප්‍රසාද පිළිබඳ පනත යටතේ එම දුරකථන ඇමතුම්වලට තානාපති මුක්තිය හිමි වන හෙයිනි ඒවා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර විශ්ලේෂණ වාර්තාවන් කැඳවීමට අධිකරණයට බලයක් නොමැති බවට විරෝධතාවක් මතු කර තිබුණි. එම විරෝධතාව සම්බන්ධයෙන් ඊයේ දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සදහන් කර සිටියේ විත්ති පාර්ශ්වය සඳහන් කරන ආකාරයට වියානා සම්මුතිය සහ 1996 අංක 09 දරණ තානාපති වරප්‍රසාද පිළිබඳ පනත යටතේ අදාළ දුරකථනයේ ඇතුලත් ඇමතුම් වලට තානාපති මුක්තියක් හිමි නොවන බවයි. ඒ අනුව අදාළ ජංගම දුරකථනය රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර එහි අන්තර්ගත ඇමතුම් පිළිබඳව විශ්ලේෂණ වාර්තාවක් කැඳවීමට අධිකරණයට නීතිමය බාධාවක් නොමැති බවද මහේස්ත්‍රාත්වරිය විසින් මෙහිදී නිගමනය කරන ලදී. ඒ අනුව සැකකාරිය වෙනුවෙන් ඇයගේ නීතිඥවරයා මතු කළ විරෝධතාව ඉවත දැමු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් සැකකාර ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තිය විසින් භාවිතා කළ ජංගම දුරකතනය රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර එහි අන්තර්ගත ඇමතුම් පිළිබඳ විශ්ලේෂණ වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස පොලිසියට නියෝග කළාය. එම විශ්ලේෂණ වාර්තා අධිකරණයට සහ නීතිපතිවරයා වෙත වෙන් වෙන් වශයෙන් යොමු කිරීමට පියවර ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරිය විසින් මෙහිදී රජයේ රස පරීක්ෂක වරයාට නියෝග කරන ලදී. විමර්ශන වල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරමින් රහස් පොලිසියේ සමූහ මිනීමැරුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකාර ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් හා ලේක්හවුස් ආයතනයේ සේවය කරන මාධ්‍යවේදිනියක වන දරීෂා බැස්ටියන් සහ තවත් කිහිපදෙනෙකු අතර සිදුවී ඇති බව කියන දුරකථන සංවාද ගණනාවක් පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව සඳහන් කළේය. "ස්වාමීනි, මෙම සැකකාරිය පැහැරගෙන යාමට ලක්වූ බව කියන ඉකුත් නොවැම්බර් මස 10 වනදා සිට 30 වනදා අතර කාලසීමාව තුළ ලේක්හවුස් ආයතනයේ සේවය කරන මාධ්‍යවේදිනියක වන දරීෂා බැස්ටියන් නැමැත්තිය විසින් ජංගම දුරකථනයකින් මෙම සැකකාරියට ඇමතුම් ලබාගෙන තිබෙනවා. දරීෂා බැස්ටියන් නැමැත්තිය එම ඇමතුම් ලබාගෙන තිබුණේ ලේක්හවුස් ආයතනයේම සේවය කරන ලක්නා පරණමාන්න නමැති අයගේ නමට ලබාගත් සිම් පතක් උපයෝගී කර ගනිමින්. සැකකාර ගානියා විසින්ද දරීෂා බැස්ටියන්ට දුරකථන ඇමැතුම් ලබා ගෙන තිබෙනවා. එම කාලසීමාවේ දරීෂා බැස්ටියන් විසින් දැනට ස්විස්ටර්ලන්තයට පළාගොස් සිටින රහස් පොලිසියේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා සහ ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේට ඇමතුම් ලබාගෙන තිබෙනවා. එම කාලසීමාව තුළ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා සහ රහස් පොලිසිය හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අතරත් දුරකතන ඇමතුම් ගණනාවක් හුවමාරු වී තිබෙනවා. ඒ වගේම ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ සහ රහස් පොලිසියට හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යන අය අතර දිගු කාල පරාසයන් සහිත දුරකතන සංවාද ගණනාවක් සිදුව ඇති බවටත් විමර්ශනවලින් කරුණු අනාවරණය වී තිබෙනවා." යනුවෙන් සඳහන් කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා මෙම දුරකතන ඇමතුම් ජාලය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ප්‍රකාශ කළේය. මෙම දුරකතන ඇමතුම් වලට සම්බන්ධ දරීෂා බැස්ටියන් සහ ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ යන අය මේ වන විට ස්විස්ටර්ලන්තයට ගොස් සිටින අතර ඔවුන් නැවත මෙරටට පැමිණ නොමැති බවත් ඒ හේතුවෙන් ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන්කර ගැනීමට නොහැකි වී ඇති බවත් ප්‍රශ්නගත දුරකථන සංවාද වලට සම්බන්ධ වූ රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ගෙන් ඉදිරියේ දී ප්‍රශ්නකර ප්‍රකාශ සටහන් කර ගැනීමට අපේක්ෂා කරන බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පැමිණිල්ල නැවත පෙබරවාරි මස 11 වනදා කැඳවන ලෙස නියෝග කළාය. එදින මෙම පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය විසින් රහස් පොලිසියට නියෝග කරන ලදී. මෙහිදී රහස් පොලිසිය වෙනුවෙන් ජේෂ්ඨ රජයේ නීතිඥ ලක්මිණී ගිරිහාගම මෙනවිය සමග ජේෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා පෙනී සිටියේය. සැකකාරිය වෙනුවෙන් නීතිඥ සුදර්ශන ගුණවර්ධන සමග නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා පෙනී සිටියේය. 2019.11.10 සිට 2019.11.30 තෙක් 0772272893 දරන ගානියාගේ දුරකථන අංකයෙන් දරීෂා බැස්ටියන් විසින් දැනට ස්විස්ටර්ලන්තයට පළාගොස් සිටින රහස් පොලිසියේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා සහ ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේට ඇමතුම් ලබාගෙන තිබෙනවා. එම කාලසීමාව තුළ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා සහ රහස් පොලිසිය හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අතරත් දුරකතන ඇමතුම් ගණනාවක් හුවමාරු වී තිබේ.
 

More News..