brand logo

ග්ලිසරින් නැතිව අඬපු නිරංජනී ෂන්මුගරාජා

11 January 2020

ඇය කල්‍යාණි. දරුවන් දෙදෙනෙකුගේ මවක්, තම දරුවා හා නැතිවූ දරුවා වෙනුවෙන් මුළු ආත්මයම කැප කළ හැකි දෙමළ මවක්. නමුත් මුළු සිංහල ප්‍රේක්ෂකාගාරයම ඇය හඬවනවා. ඒ කඳුළ දෙමළද, සිංහලද කියන්න බැහැ. මොකද ඒ කඳුළ එන්නේ මුළු ආත්මයෙන්මයි. හෙට දිනයේ සුනාමි හරහා මුළු ලංකාවම හඬවන්න ඇය සූදානම්. නිරංජනී ෂන්මුගරාජාව මුණගැහුණේ ඒ ගැන කතා කරන්න. මේ මගේ හත්වැනි ෆිල්ම් එක. 2009 වර්ෂයේ වෘත්තියෙන් මම නිවේදිකාවක් වුණා. ඊට පස්සේ ඉනිඅවන් චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතය රඟපාලා ලංකාවේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තා. ඒක හරිම ලස්සන කතාවක්. ඉනිඅවන් චිත්‍රපටයට මාව තෝරාගත්තේ ප්‍රධාන නිළිය හැටියට. නමුත් මගේ ප්‍රමාදයක් නිසා මට වෙලාවට වචනේ දෙන්න බැරිවුණා. මගේ හිත සනසන්න අශෝක හඳගම මට සෙකන්ඩ් රෝල් එක දෙනවා. නමුත් මම, මගේ මුළු ශක්තියෙන්ම රඟපානවා. සෙකන්ඩ් රෝල් එක ප්‍රධාන චරිතය අබිබවා කරපු නිසා මම හොඳම නිළිය වෙනවා. මගේ දෛවය ලියැවිලා තියෙන්නේ ඒ විදිහට. මම නුවර... ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම කලාවට කැමතියි. සිංහල, දෙමළ, මුස්ලිම් ළමයි අතරේ මම හැදුණේ. කවදාවත් වෙනසක් දැනුණේ නැහැ. මොකද මගේ ආත්තම්මා සිංහල. මගේ හිත හැමදාම වෙනස් වුණා. අද තියෙන බලාපොරොත්තු නෙවේ මට පහුවදාට තිබුණේ. අද ඉංජිනියර් කෙනෙක් වෙන්න හිතුවොත් හෙට ගුරුවරියක් වෙන්න හිතෙනවා. පුංචි කතාවක් මම කියන්නම්. දළදා මාලිගාවට කොටි බෝම්බ ගැහුව දවසේ අපේ ආච්චි හොඳටම අඬනවා. මට ඕනේ ආච්චිගේ ඇඬිල්ල නතර කරන්න. ‘ආච්චි, ඔයා අඬන්න එපා. මම ලොකුවෙලා ආමි එකට ගිහින් එල්.ටී.ටී.ඊ ඔක්කොම මරනවා.’ කියලා මම කිව්වා. කිසිම දවසක නිළියක් වෙනවා කියලා නම් කියලාවත් තිබුණේ නැහැ. හැබැයි සිංහල නාට්‍ය තමා බැලුවා. රතු රෝස, දූ දරුවෝ, වෙදහාමිනේ වගේ නාට්‍ය ආසාවෙන් බැලුවා. 2009 කොළඹට එනකම් ජීවිතේ කිසිම ප්ලෑන් එකක් තිබුණේ නැහැ. හොඳට සින්දු කියන්න පුළුවන් නිසා ඉස්කෝලේ යාළුවෝ කිව්වා කවදාහරි උඹ ගායිකාවක් වෙයි කියලා. කොළඹ ඇවිත් මම දෙමළ නිවේදිකාවක් වෙනවා. ජාතික රූපවාහිනියේ ලන්ච් ටයිම් මියුසික් තමා මම මුලින්ම කළේ. ඊට පස්සේ ලොතරැයි වැඩසටහන් කරන්නත් අවස්ථාව ලැබුණා. අදටත් මම ඒ දේවල් නතර කරලා නැහැ. ඔය කාලේ මම යංඒෂියා එකේ හඬකැවීම් වැඩසටහනකට ගියා. දෙමළෙන් වොයිස් කරන්න ගිහින් සිංහලත් වොයිස් කළා. මොකද මට භාෂා දෙකම හොඳට කතා කරන්න පුළුවන් නිසා. එතැනදි තමා මම එතැනින් දැනගන්නේ යොවුන් නාට්‍ය උළෙලේ සිංහල නාට්‍යයක් සඳහා භාෂා දෙකම කතා කරන්න පුළුවන් නිළියක් හොයනවා කියලා. මම වේදිකා නාට්‍ය කරලම නැහැ. අනික රඟපානවා කියලා දැනගත්තොත් ගෙදරින් මාව මරයි කියලා මට හිතුණා. ඒක නිසා ගෙදරට නොකියා හොරෙන්ම වැඩේට ගියා. මුලින්ම යොවුන් නාට්‍ය උළෙලේ තරගය තිබුණේ ගාල්ලෙ. මමත් රඟපෑවා. හැබැයි රඟපාලා ඉවර වෙනකොට වේදිකාවෙන් ආපු අත්පොළසන් නාදය දැක්කාම මටත් අදහාගන්න බැරිවුණා. ඔය නාට්‍යය රඟපානකොට ඉනිඅවන් චිත්‍රපටය සඳහා දෙමළ කෙල්ලෙක් හොයනවා, මට බැරිද කියලා ඇහුවා. අම්මගේ මූණ මතක්වෙලා මම ගත් කටටම බෑ කිව්වා. මොකද රඟපාන්න ගියා කියලා දැනගත්තොත් අම්මා මාව මරනවා. වේදිකා නාට්‍යයත් මම කළේ ගෙදරට හොරෙන්. හැබැයි මම අභියෝගවලට හරිම කැමතියි. මගේ වටේ ඉන්න හැමෝම මෙච්චර විරුද්ධ වෙනකොට මට හිතුණා මේක කරලා බලන්න ඕන කියලා. මම කතා කරලා හා කියන කොට මගේ චරිතයට කෙනෙක් අරගෙන. ඊට පස්සේ මට ලැබුණේ සෙකන්ඩ් කැරැක්ටර් එක. ෆිල්ම් එකක මූණ පෙන්නුවත් කමක් නෑ කියලා මම හා කිව්වා. දැන් මම ගෙදරට හොරෙන් රඟපාන්නේ. කොහොම හරි යාපනේ ෂූටින් තියෙන දවස් ආවා. දැන් කොහොමද ගෙදරින් පනින්නේ... දැන් නම් ගෙදරට බොරු කියන්න බැහැ. මම අම්මට ඇත්ත කිව්වා. මම ෆිල්ම් එකක රඟපාන්න අත්සන් කළා. හෙට යාපනේ ෂූටින්. සතියකට ගෙදර එන්න වෙන්නේ නැහැ. මම එහෙම කියනකොට අම්මා ගෙට ගිහින් පිහිය අරගෙන සාලෙට ආවේ මම උඹව මරනවා ගෙදරින් හෙල්ලුනොත් කියාගෙන... අම්මට ඇත්තටම කේන්ති ගිහින් කියලා මම දන්නවා. මමත් බය පැත්තකට දැම්මා. මරන්න... මරන්න.. හැබැයි ලක්ෂ 25ක් දෙන්න. මොකද මම අත්සන් කරලා ඉවරයි. ගිවිසුම කැන්සල් කළොත් අලාභෙ ගෙවන්න ​ඕන. අම්මා ටිකක් බයවුණා. දැන් සද්ද නැහැ. ෂේප් එකේ යනවා. ඔය අතරේ දකුණු පළාතේ යොවුන් නාට්‍ය උළෙලේ සම්මාන ප්‍රධාන උත්සවය. මම හොඳම නිළිය වෙනවා. හැබැයි මම යාපනේ ෂූටින්. මට යන්න විදියක් නෑ. මම අඬනවා මාව අරගෙන යන්න කියලා. මේ චිත්‍රපටය උඹට ඊට වඩා සම්මානයක්.. කට්ටිය මාව සැනසුවේ එහෙම කියලා. කොහොම හරි මම රඟපෑවා. අම්මා රණ්ඩු. මමත් අඬනවා. හැබැයි සියල්ල දරාගෙන මම මගේ ගමන යනවා. ජාතික යොවුන් නාට්‍ය උළෙලේ අවසාන තරගයේ මම හොඳම නිළිය වෙනවා. අවුරුදු 34ක යෞවන නාට්‍ය උළෙලේ සිංහල වේදිකා නාට්‍යයකට දෙමළ නිළියක් හොඳම සම්මානය ලබාගත් ප්‍රථම අවස්ථාව හැටියට එය ඉතිහාසයට එකතු වුණා. එතැනින් පස්සේ ඉනිඅවන් මගේ ජීවිතේ වෙනස් කළා. ඉනිඅවන් බලලා අම්මා කිව්වේ මගේ සාරි ටික ලස්සනයි කියලා විතරයි. මොකද මම ඒ චිත්‍රපටයට ඇන්දේ අම්මගේ සාරි. අම්මා හැරෙන්න එදා මට හැමෝම ප්‍රශංසා කළා. කවදාවත් මම මගේ නිවේද වෘත්තිය අතහැරියේ නැහැ. මම රේණුකා අක්කව හොඳට අඳුනන්නේ එයත් ලොතරැයි කරන්න ආපු නිසා. සමහර දවස්වලට සෝමරත්න සර් එනවා රේණු අක්කව එක්කගෙන යන්න. මට තාමත් මතකයි ඉස්කෝලේ යන කාලේ සරෝජා බලලා නිත්‍යවානි කෙනෙක් වෙන්න මටත් තිබුණා නම් කියලා හිතුණ හැටි. නමුත් එදා ඒ ගැන වැඩිය හිතන්න ගියෙත් නැහැ. මම සෝමරත්න සර්ට විිහළු කරනවා අනේ සර් මාව කවද්ද ඔයාගේ චිත්‍රපයකට ගන්නේ කියලා. ඉන්නකෝ නිලංජි කියලා සර් හිනාවෙලා යනවා. මම ගිරි වැසි පුර චිත්‍රපටයේ ෂූටින් කර කර ඉන්නකොට සෝමරත්න සර්ගෙන් මට කෝල් එකක් ආවා. එදා මම හැ​මෝටම ඇහෙන්න කෑගැහුවා සෝමරත්න සර් කෝල් කරනවා කියලා. ඒ තරම් මට සතුටුයි. කොහෙද නිරංජි ඉන්නේ.. ඔන්න ඔයා කියපු දේ හරි. මගේ ඊළඟ චිත්‍රපටයේ මේන් රෝල් ඔයා. මම මුලින්ම තේරුවෙ ඔයාව. මීට වඩා සතුටක් නිළියකට කොහෙන්ද? මම කෑගැහුවා. මට ලැබුණ හොඳම අවස්ථාව කියලා හිතුණා. නමුත් රේණුකා අක්කගේ පෞද්ගලික ප්‍රශ්නයක් නිසා චිත්‍රපටයේ කටයුතු ප්‍රමාද වුණා. මට දැන් මාර අවුල්. සෝමරත්න සර්ගෙන් කෝල් කරලා අහන්නත් බයයි කවද්ද ෂූටින් පටන් ගන්නේ කියලා. වෙන කාව හරි ගනීද කියලත් හිතෙනවා. මම ඒ තරමට දෙගිඩියාවෙන් උන්නේ. නමුත් සර් මට කතා කළා. නිරංජි, ප්‍රශ්න ඉවරයි. අපි ලබන සතියේ වැඩ පටන් ගන්නවා කිව්වා. මම කිරිල්ලියක් වගේ ගියේ. සර්ගේ අතින් මුලින්ම ස්ක්‍රිප්ට් එක අරගත්තේ මම. සෙට් එකේ ඉන්න අය දැක්කම අදහාගන්න බැහැ. දර්ශන් අයියා ඉන්නවා. මගේ සතුට මටම පාලනය කරගන්න බැරිවුණා. තිර රචනාව කියෙව්වාම මම හොඳටම බයවුණා. දරුවෝ දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් හැටියට මම රඟපාන්න ඕන. මම තාම කෙල්ලෙක්. දරුවෝ දෙන්නා මැද්දේ ප්‍රශ්න. අනික සුනාමියට ගහගෙන යනවා. මට පීනන්න බැහැ. සර් මගෙන් පීනන්න පුළුවන්ද ඇහුවාම හොඳට පුළුවන් කියලා කිව්වේ මට චරිතය නොලැබෙයි කියන බයට. එවෙලේ බොරු කිව්වට රඟපාන්න ආපුවම බයයි ගිලිලා මැරෙයි කියලා. හැබැයි සෝමරත්න සර් ඒ චරිතය දරුවන්ට වගේ කියලා දෙනවා. රඟපාන්න බැරි කෙනෙක්ට වුණත් එයා එක්ක රඟපාන්න පුළුවන් කියලා මම විශ්වාසයෙන් කියනවා. කොච්චර හොඳට සර් මාව සංවේදී කළාද කියනවා නම් සුනාමි චිත්‍රපටයේ මම ග්ලිසරින් නැතිව ඇඬුවා. කුසෙන් දරුවෙක් නොවැදුවාට මාව අම්මා කෙනෙක් කළේ සුනාමි චිත්‍රපටය. මේ මොහොතේත් ඒ දරුවෝ දෙන්නා දැක්කම මට හිතෙන්නේ මේ මගේ දරු​ෙවා දෙන්නා කියලා. අදටත් ඒ දුවලා දෙන්නව දැක්කම මම බදාගෙන අඬනවා. ඒ​ මොහොතෙ ඒ දුවලා දෙන්නගේ අම්මා මම වෙනවා. කෙල්ලගේ ඇස්වහ කටවහ පිච්චුවද... මෙයාලගේ ඇඳුම් හරි නැහැ. හොඳ ගවුම් ටිකක් අන්දවන්නකො කොණ්ඩෙත් බැඳලා නැහැ. මෙහෙමද ළමයි තැනකට එක්කගෙන යන්නේ... මට නොදැනීම කියැවෙනවා. ඒ තරමටම මම එයාලගේ අම්මා වෙලා. ඒ වෙලාවට මෙයාලගේ ඇත්ත අම්මා කියනවා කෙල්ලව මට අරගෙන යන්න කියලා. ඒ ළමයිනුත් ඒ වගේමයි. චිත්‍රපටයට එහා ගිය බැඳීමක් අපි අතරේ ඇතිවෙලා. සුනාමි කියන්නේ හරිම ආසාවෙන් කරපු චරිතයක්. කල්‍යාණි හැදෙන්නේ මගේ වටේ උන්න අයත් එක්ක. තේ කෝප්පේ උදේට දෙන කෙනාගේ ඉඳන් අධ්‍යක්ෂවරයා දක්වා ඉන්න හැමෝම තමා කල්‍යාණිව නිර්මාණය කළේ. දවස් 50ක් අපි රූපගත කිරීම් කළා. සුනාමිය ෂූට් කළේ අන්තිමට. දැන් මම වතුරට බහින්න ඕන. මට බයයි. අනේ සර්, වෙන කෙනෙක් දාන්න බැරිද කියලා අහනකොට සර් මට හොඳම එකෙන් බැන්නේ. සෝමරත්න සර්ගෙන් මුලින්ම හා අවසාන වතාවට මම බැණුම් ඇහුවේ එදා. සර් මුලින්ම වතුරට බැහැලා පෙන්නුවා. මගේ බය නැතිවුණා. මම හරියටම කළා. වතුරට විෂබීජ නාශක දාලා අපිව ආරක්ෂා කරලා තිබුණා. නිෂ්පාදක කණ්ඩයම අපිව රැකගත්තේ දෙමාපියෝ වගේ. චිත්‍රපටයේ මුල්ම දර්ශනය බලපු දා මම ඉකිගහලා ඇඬුවා. සුනාමි චිත්‍රපටයට අන්තර්ජාතික සම්මානයක් ලැබෙයි කියන බලාපොරොත්තුව මගේ සිතේ තියෙනවා. ඒ තරමටම සුනාමි කියන්නේ අභියෝගයක්. සුනාමිය අපේ මුළු ජීවිතේම වෙනස් කළා. සුනාමි බලපු ප්‍රවීණ කලාකරුවෝ කඳුළු පු​රෝගෙන කිව්වේ උඹ ලංකාවේ හොඳම නිළියක්, ලෑස්ති වෙයන් ලබන අවුරුද්දේ සම්මාන ටික ඔක්කොම උස්සන්න කියලා. සම්මාන නැතත් ඒ වචනේ ඇති. බලන්න සර්, හැමෝම හොඳ කියනවා. ඒ ප්‍රතිචාර දරාගන්න බැරුව මම සෝමරත්න සර්ව බදාගෙන ඇඬුවා. ඉතින් හොඳයිනේ නිරංජනී... සර් හිනාවෙලා මාව සැනසුවා. මම රඟපාන්න හදනකොට මන්නේ අරගෙන කොටන්න ආපු අම්මා අද මගේ රඟපෑම දැකලා අඬනවා. මීට වඩා මට තවත් සතුටක් නැහැ. සුනාමිය ඇත්තටම ලංකාව තුළත් ලොකු වෙනසක් කරයි කියලා මම හිතනවා. ඉදිරියේ මම රඟපාපු චිත්‍රපට කීපයක් එන්න තියෙනවා. ටෙලි නාට්‍යවල නම් රඟපාන්න අදහසක් නැහැ. කොහොමත් මම නිර්මාණ තෝරලා අරගන්නේ. මට රැකියාවක් තියෙනවා. වෘත්තියෙන් නිවේදිකාවක්. ඒක අත්හරින්නේ නැහැ. බැඳීම් නැති සරල ජීවිතයක් ගත කරනවා. ලැබෙන විදිහට ජීවත් වෙනවා. හෙට දවස ගැන ලොකු බලාපොරොත්තු නැහැ. දෙවියන්ගේ ශක්තියට වඩා ස්වභාව දහමේ ශක්තිය මම හැම තප්පරේම විශ්වාස කරනවා. ඉදිරියේදී විවාහ වෙනවා. හැබැයි සිංහල කොල්ලෙක් එක්ක. මාව දාලා ගියත්, බූට් තිබ්බත් මම බඳින්නේ සිංහල කොල්ලෙක්ව. ඒක මගේ හිතේ ඇතිවෙච්ච ලොකු හැඟීමක්... ක්‍රිෂාන්ත පුෂ්පකුමාර ඡායාරූප -උපුල් නිශාන්ත හැඩගැන්වීම -තිසර ප්‍රියදර්ශන ඇඳුම් - චතක් (වැල්ලවත්ත)
 

More News..