brand logo

ගල් ගැහෙන සීතලේ කූඩැල්ලන් කකා ෆ්‍රෝසන් ට්‍රවුට් පුහුණුව ලැබූ හැටි

21 December 2019

නුවරඑළිය, අඹේවෙල කැලෑබද කඳු මුදුනකි. හතර වටම වෙලාගෙන ඇත්තේ කෑලි කපන තරමේ අඳුරකි. තොරතෝංචියක් නැතිව ඇහෙන්නේ කන් කීරි ගසා ගෙන හමාගෙන යන සුළඟ පමණි. ඉඳහිට නරියකුගේ, දෙදෙනකුගේ හූ හඬ ළඟ ළඟින්ම ඇසෙන්නේය. මැදියම් රැය ගතව හෝරා දෙකක් පමණ ගෙවී ගොසිනි. ඉදිරි ආරක්ෂක වළල්ලේ නිදිවර්ජිතව සිටන සෙබළුන් සිටින්නේ ගොදුරකට ඉව අල්ලන උකුස්සකුගේ දෑස් මෙන් විමසිල්ලෙනි. ඒ කොයි මොහොතේ සතුරාගෙන් ප්‍රහාරයක් එල්ල වේදැයි විමසිල්ලෙනි. විමසිලි ඇසින් සිටි සෙබළුන්ට හිටි හැටියේම වෙඩි ප්‍රහාරයක් එල්ල වන්නට පටන් ගත්තේය. සූදානම් ශරීරයෙන් සිටි සෙබළු ප්‍රතිප්‍රහාර එල්ල කළහ. ප්‍රති ප්‍රහාර හමුවේ සතුරු ප්‍රහාර දරුණු විය. සතුරු ප්‍රහාර දැවැන්ත වුවද අඹේවෙල කඳු මුදුනේ සිටි සෙබළු අඩියක් හෝ පසු නොබැස්සහ. ඔවුන් තම භූමියේ සිටම බර අවිවලින්ද සතුරාට ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්හ. සෙබළ ප්‍රහාර හමුවේ සතුරාට වුණ අලාභහානි එන්න එන්නම වැඩි විය. තුවාලකරුවන්ද බොහෝය. සතුරාට දැන් සිදුව ඇත්තේ තම මියගිය අයගේ සිරුරු හා තුවාලකරුවන්ද රැගෙන පසු බැසීමය. අණ ලැබුණි. තවත් ප්‍රහාර එල්ල නොකොට සතුරා පසු බැස පලා ගියේය. මේ සියල්ලම අවසන් වන විට වටින් ගොඩින් එළිය වැටෙමින් තිබුණි. මෙය සටනක් කීවද සැබෑ සටනක් නොවේ. යුද අභ්‍යාසයකි. එය වාර්ෂිකව පැවැත්වෙන්නේ අඹේවෙල කඳු මුදුනේය. දියතලාව යුද්ධ හමුදා විද්‍යා පීඨයේ හා කොතලාවල විශ්වවිද්‍යාලයේ කැඩෙට් නිලධාරී පාඨමාලාව වෙනුවෙනි. මෙය හමුදා භාෂාවෙන් හඳුන්වන්නේ ‘ෆ්‍රෝසන් ට්‍රවුට්’ (Frozen trout) යනුවෙනි. ෆ්‍රෝසන් ට්‍රවුට් යන්නෙහි සැබෑම අරුත වන්නේ ‘‘සීතල වූ නැතිනම් ගල් ගැසුණු මාළුවා’’ යන්නය. ඒ නම කොහොමත් මේ යුද පුහුණුවට ගැළපෙන බව හිතෙන්නේ අඹේවෙල ඇත්තේ දැඩි සීතලම නිසා නොවේ. සුළං කපොලු මැද දින පහක් පමණ බාහිර ලෝකයෙන් ඈත්ව, වැසි මැද ගත කිරීම අභියෝගයකි. මෙකී අභියෝගයට එදා මෙදා තුරා යුද්ධ හමුදාවෙන් බිහි වූ හැම නිලධාරියකුම මුහුණ දී තිබේ. මෙය නිලධාරී පුහුණුවීම් පාඨමාලාවක අනිවාර්ය පුහුණු වීමකි. වර්තමාන යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා 1984 වසරේ ෆ්‍රෝසන් ට්‍රවුට් පුහුණුව ලද්දෙකි. ‘‘ෆ්‍රෝසන් ට්‍රවුට් කියන්නේ අති දුෂ්කරම පුහුණු වීමක්. ඒ දින කිහිපය ගතකිරීම හරිම දුෂ්කරයි. මොකද ඒ දින කිහිපය අප සිටිය යුත්තේ අප විසින් තනාගත් යුද අගලේ. මේ යුද අගල් කපලා අපි සතුරාට නොපෙනෙන ලෙස උඩින් ආවරණය කළ යුතු වෙනවා. මට මතකයි අපි වටාපිටාවෙන් හොයාගත්තේ කොටන් දාලා උඩින් පේන්නේ නැති විදිහට හැදුවා. පුහුණු නිලධාරීන් ඇවිත් මේවා සවි ශක්තියෙන් යුතුද කියලා අර කොටන් උඩ, උඩ පැන පැන බලනවා. ඉතින් කඩාගෙන වැටෙනවා. අපි ආයිත් හදනවා. මේ වාගේ දේවල් මෙතැනදී අපිට සිදුවුණා. යුද අගලට වෙලා සතුරා එන දෙස බලාගෙන සිටින විට අපිට නින්ද යනවා මහන්සියට. බැරි වෙලාවත් පුහුණු නිලධාරියකුට අහුවුණොත් පනිෂ්මන්ට් තමයි. කන්දේ උඩ ඉඳලා පහළට ෆෝඩ්රෝල් ගහන්න වෙනවා. මේවා ඇත්තටම අපිට වැදගත් වුණේ යුද්ධ කාලෙදි. මොකද යුද්ධ වාතාවරණයකදී අපිට ඇතිවන පීඩන මෙවැනි පුහුණුවීම් තුළින් අපිට දරාගැනීමේ හැකියාව ලැබුණා.’’ ෆ්‍රෝසන් ට්‍රවුට් පුහුණුව යනුවෙන් කී විට හමුදා නිලධාරීන්ට සිහි වන්නේ කූඩැල්ලන්ය. විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා ඒ ගැන සිය මතකය අවදි කළේ මෙසේය. ‘‘ෆ්‍රෝසන් ට්‍රවුට් කියන්නේ අති දුෂ්කරම පුහුණුවීමක්. අපේ කාලේ මේ පුහුණුවීම තිබුණේ අඹේවෙල ෆාම් එකේ. ෆ්‍රෝසන් ට්‍රවුට් කිව්ව ගමන් මතක් වෙන්නේ හරක් කූඩැල්ලෝ. කූඩලු ප්‍රහාර ගැන කියලා වැඩක් නැහැ. මේ කූඩැල්ලෝ අඟලක් විතර පළලයි. කන්වලට පවා රිංගනවා. ඒ හින්දා අපි ඒකෙන් බේරෙන්න කන්වල පුළුන් ගහගන්නවා. පුහුණුවීම් දවස්වල මේ කූඩැල්ලෝ කොච්චර අපිව කෑවද කියලා අපි දන්නේ නැහැ. පුහුණුවීම් අවසන් වෙලා බිලට් එකට ඇවිත් යුනිෆෝම් එක ගලවනකොට ඇඟේ ලේ බීලා ඇඟේම මැරුණු කූඩැල්ලෝ ගොරකා වාගේ වැටෙනවා. ඒ දවස්වල අපේ බිලට්වලින් මේ වාගේ කූඩැල්ලෝ ගොඩවල් හොයාගන්න පුළුවන්.’’ සීතල, වර්ෂාව කූඩැලි ප්‍රහාර කොතරම් වුවත් ෆ්‍රෝසන් ට්‍රවුට් පුහුණුවීම වසරක් පාසා නොකඩවා පවත්වන්නකි. මෙවර පුහුණුවීමේ පුහුණු මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කරන්නේ කර්නල් සංජය කරුණාරත්නය. මෙකී පුහුණුවීමේදී යුද අගල් කැපීම, ආරක්ෂිත වළලු ස්ථාපිත කිරීම කෙඩෙට් නිලධාරීන්ට කියා දෙයි. ඔවුන් අදාළ භූමි ප්‍රදේශයට පැමිණි පසු දෙන නියමිත කාලය තුළදී යුද අගල් ස්ථාපිත කිරීම අනිවාර්ය වේ. එම අගල් හැරීම සඳහා දෙන්නේද උපකරණ කිහිපයකි. එසේම තමන්ගේ බෙල්ල මට්ටමට පමණ මෙම යුද අගල් හැරීම සිදුකළ යුතුය. එසේම වටපිටාවට දර්ශනය නොවන ආකාරයට අගලට උඩින් කොටන් යොදා දෙපස ආවරණය කළ යුතු වේ. මෙහි ජ්‍යෙෂ්ඨ උපදේශක වන මේජර් නිලන්ත සිල්වා මේ පිළිබඳව අපට කීවේ මෙවැන්නකි. ‘‘මොවුන් යුද අගල් සෑදීමේදී අප ලබාදෙන උපකරණ මෙන්ම ඔවුන් වටපිටාවෙන් සොයාගන්නා ද්‍රව්‍යයද භාවිත කරලා මේ කාර්යයේ නිරත වෙනවා. මොකද යුද්ධයකදී අපි අවශ්‍ය උපකරණ සියල්ලම රැගෙන යන්නේ නැහැනේ. අපට අවට තිබෙන දේවල්වලින් අවශ්‍යතා සපුරා ගන්න පුරුදු වෙන්න වෙනවා. මේ සියල්ලම මෙතැනින් කෙරෙනවා.’’ ​ෆ්‍රෝසන් ට්‍රවුට් පුහුණුවේදී ලද දැනුම හොඳ හැටි ප්‍රයෝජනයට ගත් අවස්ථාවක් වන්නේ ජනපති ගෝඨාභය රාජපක්ෂ යුද හමුදාවේ අණ දෙන නිලධාරියකු ලෙස කළ යාපනය කොටුව බේරාගැනීමේ මෙහෙයුමය. එම මෙහෙයුමේ ඇතැම් සෙබළු හිස පැලඳි හෙල්මටය පවා භාවිත කරමින් යුද අගල් කැපුවේ ළඟ ඇති උපකරණවලින් උපරිම ප්‍රයෝජනය ගනිමිනි. මෙසේ යුද අගල් සැකසීම පමණක් සීමා නොවන්නේය. භූමිය පුරා විසිර තිබෙන අගල් අතර සන්නිවේදන ක්‍රමවේදයක්ද අවශ්‍ය වන්නේය. නමුත් දුරකථන භාවිත කර හෝ ශබ්ද නගා කතා කොට සන්නිවේදනය කළ නොහැකිය. ඒ සඳහා ඔවුහු අපූරු උපක්‍රමයක් භාවිත කරති. ඒ යුද අගල් අතර නූල් ඇද ටිං බෙලෙක්ක දෙකක් හෝ එකිනෙකට ගැටීමෙන් ශබ්දය නැගෙන දෙයක් යුද අගල තිබෙන ස්ථානයේ නූලෙහි කෙළවර ගැට ගැසීමය. එහිදීද ඔවුන් එක් වරක් ශබ්දයකින් අර්ථ වන දෙය දෙවරක් ශබ්ද වීමෙන් අර්ථ වන කරුණු පිළිබඳව යුද අගල්වලට පැමිණීමට පෙර කථිකා කරගෙන සිටියි. සතුරා පැමිණෙනවාද, වෙනත් කරුණක්ද යන්න ඔවුන් මේ නූල් ඇදීමෙන් සන්නිවේදනය කරගන්නේය. මෙම යුද අගල් තුළ සිටින්නේ සෙබළුන් තිදෙනෙකි. එක් සෙබළෙකු නිරන්තරයෙන් තුවක්කුව මානාගෙන ඉදිරිය දෙස බලා සිටින්නේය. ඒ සතුරා හමුදාවේ ක්‍රියාකාරකම් දෙසය. අනෙකුත් සෙබළුන් දෙදෙනා ඔවුනට පැවැරී ඇති අනෙකුත් රාජකාරිවල නිරත වේ. විවේක ගැනීමට ලැබෙන්නේ මඳ වේලාවකි. ඇතැම් දිනවල එයද නැති තරම්ය. යුද අගල් ජීවිතය ගැන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා රස මුසු සිදුවීම් කිහිපයක් අප හා පැවැසුවේය. ‘‘අපේ ට්‍රේනින් එක දවස්වල පටන් ගත්ත දවසේ ඉඳලාම වහිනවා. යුද අගල්වල වතුර පිරිලා. ඒත් අපි එම වළට වෙලා ඉන්න ඕන. මොකද පුහුණු නිලධාරීන් අපිව චෙක් කරන්න කොයි වෙලේ එනවද දන්නේ නැහැ. මේ වළවල්වල ඉන්න බැරිම තැන අපි පුහුණු නිලධාරීන්ට හොරෙන් ගොඩට වෙලා ඉන්නවා. නිලධාරීන් එනවද බලන්න කිහිප දෙනෙක් මාරුවෙන් මාරුවට ඩියුටි දානවා. පුහුණු නිලධාරීන් එනවා කියන වෙලාවට විතරක් අපි වළට බහිනවා. ඒ අය ගියාම නැවතත් උඩට එනවා. අහුවුණොත් ඉවරයි. වළේ හිටියට වඩා පනිෂ්මන්ට් ලැබෙනවා. දැන් මේවා මතක් වෙද්දී පුදුමත් හිතෙනවා.’’ මෙකී පුහුණුවීම අතර ආහාර, ජලය ලැබෙන්නේද දිනකට වරක් පමණි. මුහුණ සේදීම, ඇඳුම් මාරු කිරීම සිදුවන්නේ නැති තරම්ය. අනෙකුත් ශාරීරික අවශ්‍යතා සිදු කරගන්නේ ඝන කැලෑවට රිංගීමෙනි. එවැනි අවශ්‍යතා ඉටුකරගෙන පැමිණෙන විට ඇතැම් විට ඇඟ පුරාම හරක් කූඩැල්ලා එල්ලී සිටින්නේය. නමුත් කිසිම නිලධාරියකු මෙකී දුෂ්කරතාව හමුවේ මෙම පුහුණු වීම් අතහැර නොයයි. මෙවර පුහුණු කෙඩෙට් නිලධාරිනියෝද මෙයට එක්ව සිටියහ. ඔවුන්ද පිරිමි පාර්ශ්වය සමග හරි හරියටම තම රාජකාරියේ යෙදී සිටිනු දැකගත හැකිවිය. කිසිම විටෙක ස්ත්‍රී පුරුෂ භාවයන් අනුව පුහුණු වීම වෙනස් නොවන බව පුහුණු නිලධාරිනියෝ පැවැසූහ. ශිරෝමි රත්නායක ජායාරුපය ලලිත් ​ෙපරේර​ා
 

More News..