brand logo

ගයාත්‍රි නංගි බේරාගන්න තිබුණා

04 August 2020

සිංහලකම, බෞද්ධකම සහ රට ජාතිය වෙනුවෙන් ගමෙත්, පාසලෙත් විශ්වවිද්‍යාලය තුළත් හඬ නැගූ ආදර්ශවත් යුවතියක් වනජීවී ආරක්ෂිත කලාපයක් තුළම වල් අලි ප්‍රහාරයකට ලක්ව මියගිය ශෝචනීය පුවතක් අංගොඩ කැලණිමුල්ලෙන් වාර්තා වේ. මෙසේ මියගොස් ඇත්තේ ගයාත්‍රි පාලිකා දිල්රුක්ෂි නමැති 32 හැවිරිදි තරුණියකි. ඇය එම සිද්ධියට මුහුණ දෙන විට යාපනය කිලිනොච්චියේ තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සේවයේ නිරතව සිටියාය. ගයාත්‍රි මිලාගිරිය ශාන්ත පෝල් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු පාඨමාලාව හදාරා අනතුරුව කොත්මලේ විදුලි බලාගාරයේ තාක්ෂණ ඉංජිනේරුවරියක ලෙස මුල්ම පත්වීම ලබාගත්තාය. ඉන් අනතුරුව ඇය යාපනයේ කිලිනොච්චිය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක ලෙස සේවය කරමින් සිසුන්ගේ ආදරය දිනාගත් ජනප්‍රිය චරිතයක් බවට පත්ව ඇත. ගයාත්‍රි විද්‍යාල භූමිය තුළ දර්ශනීය බුදු මැදුරක් ඉදිකිරීමටද පෙරමුණ ගෙන තිබිණි. සිසු සිසුවියන් උදේ සවස මෙම බුදු මැදුර වෙත යන අයුරු දකින ගයාත්‍රි මහත්​ සේ සතුටට පත්වූ බව ඇගේ මිතුරියෝ පවසති. නිවසේ තැන්පත් කර ඇති ගයාත්‍රිගේ නිසල දේහය අසල ඇයගේ මවුපියන් දැඩි කම්පනයට පත්ව ශෝකයෙන් බලා සිටිති. ඇයගේ ඥාති සොයුරකු වන සුනිල් සිසිර කුඹුරේගෙදර එම අවාසනාවන්ත සිදුවීම පිළිබඳ අප හා පැවැසුවේ මෙවැන්නකි. සිද්ධිය වුණු දවසේ ගයත්‍රි තවත් කථිකාචාර්යවරයකුත් එක්ක එයා මුල්වෙලා හදපු බුදුමැදුරට බුදුන් වඳින්න ගිහින් තියෙනවා. අඳුර වැටීගෙන එන වෙලාවේ බුදු මැදුර තියෙන්නේ අක්කරයක් විතර විද්‍යාල භූමියේ කෙළවරේම සර්පයන් සිටින නිසා නංගි ෆෝන් එකේ ටෝච් එක බිමට ගහගෙන ඇවිල්ලා තියෙන්නේ. එක පාරටම නංගි ඉදිරියේ අලියෙක් ඉන්නවා දැකලා සර් අලියෙක් දුවන්න. දුවන්න.. කියලා කෑගහලා තියෙනවා. දෙන්නා දෙපැත්තට දිව්වත් වල් අලියා ගයාත්‍රිව ඔසවා වීසි කරලා තියෙනවා. සිහිය නැතුව හිටපු නංගි යාපනය රෝහලට ගෙන ගියත් නිසි ප්‍රතිකාරයක් නොලැබුණු බව දැනගන්න තියෙනවා. සතියක් විතර එහෙම ඉන්නකොට අපි කොළඹට කතා කරලා ඇම්බියුලන්ස් එකක් සහිත ගුවන් යානයකින් නංගි ජාතික රෝහලට ගෙනාවා. ඒ වෙනකොටත් සිහිය නැතුව හිටපු නංගි වහාම දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා. ඇයගේ ජිවිතය බේරා ගන්න ​දොස්තරවරු විශාල මහන්සියක් ගත්තා.’ ‘සතියකට විතර පස්සේ ගිය සෙනසුරාදා නංගි නැති වුණා. අපි හිතනවා යාපනය රෝහලෙන් නිසියාකාරව මූලික ප්‍රතිකාර ලැබුණා නම් නංගිව බේරාගන්න තිබුණා කියලා.’ විශ්වවිද්‍යාල භූමිය කියන්නේ ආරක්ෂිත කලාපයක්. වනජීවී කලාපයක්. එහෙම තැනක මේ වගේ වන අලි ප්‍රහාරයකට ලක්වෙනවා නම් මොකද්ද තියෙන ආරක්ෂාව. අනිත් එක මේ ඉඩම පිටිපස්සේ විදුලි පහන් කණු සවිකරලා නැහැ. මගේ නංගි ළඟදී විවාහ වෙන්නයි හිටියේ. මේ රටට මොනතරම් ​සේවයක් කරන්න පුළුවන් ජීවිතයක්ද මේ අකාලයේ නැතිවුණේ. සිංහල බෞද්ධකම වෙනුවෙන් යන හැම තැනකම පෙනී හිටපු නංගිට මෙහෙම දෙයක් වුණ එක අපට දරාගන්න බැහැ. සිරිසේන ගමගේ - කොළොන්නාව
 

More News..