brand logo

ගමේ දෙදෙනකුට පොලිසියේ ස්ථිර රැකියාව

15 June 2021

මහජන ගැටලු විසඳීම සඳහා ග්‍රාම නිලධාරී වසම් දාහතරදහස් විසිදෙකම ආවරණය වන පරිදි ප්‍රජා පොලිස් ඒකකය බැගින් ස්ථාපිත කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත.

පොලිසිය හා ප්‍රජාව අතර මිත්‍රශීලී සම්බන්ධයක් ඇති කිරීම ප්‍රජා පොලිස් ඒකක ස්ථාපිත කිරීමේ අරමුණ වී තිබේ.

සෑම ප්‍රජා පොලිස් ඒකකයකටම එක් ග්‍රාම නිලධාරී වසමකින් දෙදෙනකු බැගින් ශ්‍රී ලංකා පොලිසියට ස්ථීර පදනමින් බඳවා ගැනීමට නියමිතය.
ඒ අනුව නවක පොලිස් කොස්තාපල්වරු විසිඅටදහස් හතළිස් හතර දෙනකු බඳවා ගැනීමට මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර තීරණය කර ඇත. ශ්‍රී ලංකා පොලිසියට මේ වන විට ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් පොලිස් නිලධාරීන් පූර්ණකාලීනව අනුයුක්ත කිරීමට නොහැකි වී ඇත්තේ කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවීමයි. අසූනව දහස් හයසිය තුනක කාර්ය මණ්ඩලයක් සිටින පොලිසියේ මුළු පුරප්පාඩු සංඛ්‍යාව පන්දහස් හත්සිය හතළිස් හයකි. ඉන් පොලිස් කොස්තාපල්වරු 3000ක පුරප්පාඩු තිබේ. ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් ප්‍රජා පොලිස් ඒකක පිහිටුවීමෙන් ගම්වල සමාජ විරෝධි ක්‍රියාකාරකම් අවම වීමෙන් පොලිස් ස්ථානවලට ලැබෙන පැමිණිලි අඩුවන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. උදයජීව ඒකනායක
 

More News..