brand logo

ගමේ ඉඳන් ඩොලර් ගහ හොල්ලන Online Freelancing

10 December 2018

මගේ කතා නායකයා හද්දා පිටිසර ගමක කොල්ලෙක්. ඔහු ජනිත් වික්‍රමසිංහ. ගම නාඩිගම. මහනුවර, දන්තුරේ ප්‍රදේශයට ආසන්නව පිහිටි සුන්දර ගමක්. ජනිත් කොහොමද, කතා නායකයෙක් වෙන්නෙ? වර්තමානයේ ලංකාව ඩොලර් පිපාසයෙන් හඬා වැටෙන බව අපි කවුරුත් දන්නවා. අපේ රුපියල අවප්‍රමාණය වෙන්න ප්‍රධානතම හේතුවක් තමයි අපි උපයන විදේශ විනිමය ප්‍රමාණය අඩුවීම. තවත් විදිහකින් කියනවා නම් භාණ්ඩ හා සේවා පිටරට යවල උපයන ඩොලර් ඉපයීම් අඩුවීම. එහෙව් රටක ඉන්න ජනිත් මහනුවර තමන්ගේ ගමේ ඉඳගෙනම ලංකාවට ඩොලර් තොග ගණන් උපයා දෙනවා. එදා රුපියල් අටදාහක මාසෙ පඩියට ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදිහට රස්සාව කරපු ජනිත් අද යන්නෙ රුපියල් ලක්ෂ 130 ක් විතර වටින CLA 180 බෙන්ස් රථයක. ජනිත්ගේ මාසික ආදායම ගැන මම සඳහන් කරන්නෙ නැත්තේ, ඒක අහපු ගමන් ලංකාවේ බොහෝ දෙනකු කලන්තෙ දාන නිසා. නැත්නම් ඔළුවේ අත තියාගෙන කියවගෙන කියවගෙන යාවි, දෙයියනේ! අපි මේ මොනවද කරන්නෙ කියල. තාමත් යොවුන් වියේ ඉන්න ජනිත්ට ඩොලර් ගහ හොලවන්න පුළුවන් වුණේ කොහොමද? ජනිත් තමන්ගෙ කතාව දිග හැරියා. “මම Online freelancing ක්‍රමයට ගෙදර ඉඳගෙන වැඩ කරනවා. මම සම්බන්ධවෙලා ඉන්නේ ලොව පුරා ජනප්‍රියවෙලා තිබෙන Fiverr.com කියන වෙබ් සයිට් එකත් එක්ක. මම මේ වෙබ් සයිට් එක හරහා කාටූන් ඩිසයිනර් කෙනෙක් විදිහට මුළු ලෝකයටම සේවාව ලබාදෙනවා.’’ Online freelancing කියන්නේ අන්තර්ජාලය හරහා තමන්ගේ දක්ෂතාවන් අලෙවිකර මුදල් උපයා ගැනීමට හැකි ක්‍රමයක්. ලෝකය පුරා මෙම ක්‍රමය වේගයෙන් ජනප්‍රිය වෙමින් තිබෙනවා. Fiverr.com වෙබ් අඩවියට අමතරව, Upwork, Toptal, Elance, Freelancer, Craigslist, Guru, 99designs, Peopleperhour, Freelance Writing Gigs, Demand Media වගේ වෙබ් අඩවි Online freelancing වෙබ් අඩවි ලෙස ලෝකය පුරා ඉතාමත් ජනප්‍රියයි. “Online freelancingකියන්නෙ තමන්ගේ දක්ෂතාවය හැකියාව අනුව අන්තර්ජාලය හරහා සේවාවක් සපයලා ආදායම් ලබන ක්‍රමයක්. මේ වෙබ් සයිට්වල විවිධ සේවා දස දහස් ගණනක් ගැන විස්තර තිබෙනවා. ඒ කියන්නේ මේක හරියට විවිධ සේවා සපයන්නන්ගේ තොරතුරු බැංකුවක් වගේ තැනක්. සැලසුම් ශිල්පීන්, චිත්‍ර ශිල්පීන්, පරිගණක ග්‍රැපික් නිර්මාණකරුවන්, සංගීතවේදීන්, පරිගණක ඉංජිනේරුවන්, ලේඛකයින්, පරිවර්තකයින්, වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවන් ආදි වශයෙන් ඕනෑම ශිල්පියකුට මේ වෙබ් සයිට් එකක් හරහා තමන්ගේ සේවාව පිළිබඳව සමාජයට දැනුම් දීලා තම සේවාවන් අලෙවි කරගන්න පුළුවන්. මේ වෙබ් සයිට් එකකට ඇතුළු වුණාම මේ ගැන හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවනි. මමත් ඉගෙන ගත්තෙ එහෙමයි. ඉගෙන ගෙන වැඩේ පටන් ගත්තා. ඉස්සෙල්ලාම අපි මේ වෙබ් අඩවියක ලියාපදිංචි වෙන්න ඕන. තමන්ට කරන්න පුළුවන් දේ, ඒ කියන්නෙ සපයන්න පුළුවන් සේවාව, ඒ අය කිරීම, පළපුරුද්ද වගේ තොරතුරු ඇතුළත් කරලා තමන් ගැන හැඳින්වීමක් එක්ක අපේ සේවාව ලියාපදිංචි කරන්න ඕන. ඒ කියන්නේ ‘එකවුන්ට් එකක්’ හදාගන්න ඕන. මේ කිසිම වෙබ් සයිට් එකක පටන් ගත්ත ගමන් අපට වැඩ දෙන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නෑ. මම මුලින්ම Fiverr වෙබ් අඩවියේ සේවා සපයන පළපුරුදු කෙනෙක් ගාව වැඩකළා. ඒ කාලේ මම කරපු වැඩවල සාම්පල් පාවිච්චි කරලා Fiverr සයිට් එකේ ලියාපදිංචි වුණා. ඒ කියන්නේ පරිගණක ලෝකේ භාෂාවෙන් කියනවා නම් ‘ප්‍රොපයිල්’ එකක් හැදුවා. Fiverr වෙබ් අඩවියේ නම් ප්‍රොෆයිල් එකට කියන්නේ ගිග් එක කියල. අපේ සේවාවන් මිලදී ගන්න අයගෙන් වැඩ ඉල්ලල, අපිට ‘බයර්ස් රික්වෙස්ට්’ එකක් දාන්න පුළුවන්. මම එහෙම කළා. මේ විදිහට අවුරුදු දෙකක් පුරා වැඩකරල තමයි මගේ එකවුන්ට් එක හොඳ තත්ත්වයට ගත්තේ.’’ ඉතාමත් සෘජුව අදහස් දක්වන ජනිත්ගේ කැපවීම ඔහුගේ පැහැදිලි ස්වරය තුළම තිබෙනවා. අවුරුදු දහතුනක් ඉස්කෝලේ ගිහිල්ල. ඊට පස්සෙ විශ්ව විද්‍යාලවලටත් ගිහිල්ල. රස්සාවක් දීපිය කියල කෑගහන අපේ තරුණ පරම්පරාවට ජනිත්ගෙන් ඉගෙන ගන්න බැරිද? “අපි ලබා දෙන සේවාව ගැන අපි හොඳට මුලින්ම ඉගෙනගෙන ඉන්න ඕන. මොකද? අපි වැඩ කරන්නෙ ජාත්‍යන්තර වෙළඳපොළක නිසා. අපට බොරු කරන්න බෑ. හරියට ඉගෙනගෙන හොඳ සේවාවක් දුන්නොත් ඒ කෙනාට ලොකු ගමනක් යන්න පුළුවන්. අපේ සේවාවන් පිළිබඳව ගනුදෙනුකාරයො, ඒ කියන්නෙ සේවාව ලබාගන්න අය දක්වන ප්‍රතිචාර අපේ එකවුන්ට් එකේ ප්‍රදර්ශනය වෙනව. ඒකට කියනවා පීඩ්බැක් දානවා කියලා. අපේ වැඩ හොඳනම් අපිට ධනාත්මක ප්‍රතිචාර නැතිනම් postive පීඩ්බැක් ලැබෙනව. වැඩ නරක නම් ඍනාත්මක නැතිනම් negative පීඩ්බැක් වැටෙනවා. මේ ජොබ් එක රඳා පවතින්නේ feedback එක මත. මුලින්ම negative වැටුණොත් වැඩ එන්නේ නෑ. මේ වෙබ් සයිට් මගින් කරන්නෙ අතරමැදි වෙළෙඳාමක්. ඒ කියන්නෙ මේ වෙබ් සයිට් එක්තරා විදියක තොරතුරු එකතුවක්. නැතිනම් වෙළඳ දැන්වීම් එකතුවක් වගේ. විවිධාකාර සේවා සපයන අයගේ විස්තර එකතුවක් මේ වෙබ්සයිට්වල තියෙනවා. සේවාවන් අවශ්‍ය අය මේ අයගේ එකවුන්ට්වල විස්තර කියවලා තමන්ට හොඳයි දක්ෂයි අවංකයි කියලා හිතෙන කෙනකුගේ සේවය ලබාගන්නවා. මේ වෙබ් සයිට්වලින් කවදාවත් බොරු කරන්නේ නෑ. ඉතාම විනිවිදභාවයකින් ව්‍යාපාර කටයුතු කරනවා. Online freelancing සඳහා මෙම වෙබ් සයිට්වලින් නීති රීති මාලාවක් දීල තිබෙනවා. ඒවාට පිටින් කටයුතු කළොත් අපේ එකවුන්ට් එක තහනම් වෙන්න පුළුවන්. එහෙම තහනම් වුණ වෙලාවකත් දවස් අනූවකින් පස්සෙ අපි හොයපු සල්ලි අපට දෙනවා.“ “මම වැඩ කරන සයිට් එකේ වෙන්නෙ මෙහෙමයි. අපිට වැඩ නිමකරන්න ඔවුන් කාලයක් දෙනවා. ඒ වෙලාව ඉවර වෙනකං බයර්ට මුකුත් කරන්න බෑ. වෙලාව ඉවර වෙලත් වැඩේ ඉවර කරන්න බැරිවුණා නම් බයර්ට පුළුවන් ඕඩර් එක කැන්සල් කරල අපිට negative එකකුත් දාල යන්න. එතකොට ඒ negative එක ගොඩක් ප්‍රශ්නයක්. මට negative අඩු නිසා තමයි ගොඩක් ලොකු තැනකට එන්න පුළුවන් වුණේ. මට දැන් දවසකට වැඩ 50 කට වැඩිය අනිවාර්යෙන්ම හම්බ වෙනවා. මට වෙන රැකියාවක් කරන්න වෙලාවක් නෑ. ඒ වගේම, වෙන රැකියාවක් කරන්න අවශ්‍යතාවකුත් නෑ. අපි මේ එකවුන්ට් එක යාවත්කාලීන කරන්න පැය විසිහතරම වගේ අවදියෙන් ඉන්න ඕන. පිටරටවල් එක්ක බොහෝ වෙලාවට ලංකාවේ ඉඳන් වැඩ කරන්න වෙන්නේ ලංකාවේ රාත්‍රි කාලයට. අපි කරන්නෙ මේ සයිට් හරහාම ‘චැට් කරන’ එක. වෙබ් සයිට්වලට පිටින් ගැනුම්කරුවොත් එක්ක කතා කරන්න බෑ කියල, නීතියක් මෙහි තිබෙනවා. එහෙම කළොත් අපිව තහනම් කරනවා වගේ ලොකු දඬුවම් තමයි සයිට් එකෙන් තියෙන්නේ. වෙබ් සයිට් එකට පිටින් ගෙවීම් ගන්නත් බෑ. සයිට් එක හරහාම තමයි ගන්න ඕන. සමහර වෙබ් සයිට් නම් තියනවා එහෙම පිටින් ගෙවීම් කරන්න ඉඩ දෙන. හැබැයි, Fiverr සයිට් එකේ නම් බෑ. අපිට අපේ සේවාව ගැන ප්‍රචාරය කරන්න අවස්ථාව දෙන ඒ ගොල්ලන්ගෙ මේ සේවාවට මේ වෙබ්සයිට් එක, වැඩකින් ඩොලර් එකක් ගන්නවා. ඒක පාඩුවක් නෙවෙයි. ඔවුන් අපිව ගොඩක් ප්‍රමෝට් කරනවා. ගූගල් ඇඩ්වලින්, ෆේස්බුක් ඇඩ්වලින් ගොඩක් වියදම් කරල අපිට ඔවුන් ලොකු ප්‍රචාරයක් දෙනවා.’’ ලර්න් ඒෂියා ආයතනය විසින් පසුගියදා සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය කර තිබුණේ Online freelancing ක්‍රමයට ලෝකයට තම දක්ෂතාවය තුළින් සේවා සපයන 17,000-22,000 ත් අතර ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ මේ වනවිට සිටින බවයි. මොවුන්ගෙන් වැඩිම පිරිසක් කොළඹ සිටිනවා යැයි කෙනෙකුට සිතෙන්න පුළුවන්. එම සමීක්ෂණයේ ප්‍රතිඵල බලන තෙක්ම මෙම ලිපිය ලියන මමද සිතා සිටියේ එසේයි. නමුත්, Online freelancing කරන වැඩිම පිරිස සිටින්නේ කුරුණෑගල, පුත්තලම සහ අනුරාධපුරය යන දිස්ත්‍රික්කවලයි. මොවුන්ගෙන් එක් අයකු සාමාන්‍යයෙන් මාසයකට රුපියල් 20,000 ක පමණ ආදායමක් උපයා ගන්නවා යැයි මෙම සමීක්ෂණය මගින් හෙළිකර තිබෙනවා. තමන් උපයන ආදායම් ලංකාවට ගෙන්වා ගැනීමේදී ගැටලු තිබෙනවා දැයි මම ජනිත්ගෙන් ඇහුවා. ජනිත් දුන්නේ මෙවැනි පිළිතුරක්. “මුදල් ගෙන්වා ගන්න අපිට ලොකු ප්‍රශ්නයක් නෑ. අපිට payoneer (payoneer.com‎) තියනවා. payoneer කියන්නෙ ගොඩක් විශ්වාසවන්ත මුළු ලෝකයේම තියෙන බැංකුවක්. ඉන්ටර්නෙට් එකෙන් ලියාපදිංචි වුණහම බැංකු කාඩ්පත සති දෙකක් වගේ කාලයක් ඇතුළත ගෙදරටම එනවා. එතකොට, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් හරහා මුදල් ලබාගන්න පුළුවන්. ඒ වගේම, payoneer ගිණුමෙන් කෙලින්ම බැංකුවට මුදල් එවන්න පුළුවන්. එතකොට, අද දවසේ තිබෙන විනිමය අනුපාතයට අනුව එකවුන්ට් එකට මුදල් වැටෙනවා රුපියල් වෙලා. ඒ සල්ලි ඕන නම් අපිට ඩොලර් විදිහට ෆික්ස් කරන්නත් පුළුවන්. ලංකාවේ බැංකුවල දැන් ඒ වගේ පහසුකම් තිබෙනවා.’’ මෙම ක්ෂේත්‍රයෙන් ජනිත් දැන් සෑහෙන දුරක් ගොස් තිබෙනවා. ඔහු පවසන්නේ තමන්ට ලැබෙන වැඩවලින් සැලකිය යුතු ප්‍රමාණයක් මේ වනවිට ඉන්දීය නිර්මාණකරුවන්ගෙන් ඉටුකර ගන්නා බවයි. “ඉන්දියාවේ කට්ටිය මට හම්බවුණේ Fiverr වෙබ් සයිට් එක හරහාමයි. ඒ ගොල්ලෝ මැසේජ්දාල මගෙන් වැඩ ඉල්ලුවා. මම ඒගොල්ලන්ට වැඩ දුන්නා. ඒ ගොල්ලොත් එක්ක වැඩ කරන්න හරිම ලේසියි. වෙලාවට වැඩේ කරල දෙනවා. වැඩවල කොලිටියත් හොඳයි. අපිට ගෙවන්න වෙන්නේ පොඩි ගාණක්. ඩොලර් සීයේ වැඩක් ඩොලර් පහකට වගේ, මට ඒ ගොල්ලන්ගෙන් ගන්න පුළුවන්. මේකට හේතුව ඉන්දියාවේ රැකියා ප්‍රශ්නය. අපි පටන් ගත්ත කාලේ වගේ නෙවෙයි දැන්. මේ සයිට්වල ලොකු තරගයක් තියෙන්නේ. තමන්ගේ ගිග් එක ප්‍රචලිත කරගන්න දැන් ලොකු තරගයක් කරන්න ඕන.“ හද්දා පිටිසර ගමක කොල්ලෙකු නීත්‍යාණුකූල ලෙස ඩොලර් ගහට නැග ලංකාවේ ඩොලර් ප්‍රශ්නයට මේ ලබාදී තිබෙන්නේ කදිම පිළිතුරකි. ලංකාවේ අන්තර්ජාල ව්‍යාප්තිය තවමත් ඇත්තේ සියයට 35 ක පමණ මට්ටමකයි. අනාගතයේදී ලංකාව පුරාම අන්තර්ජාල ව්‍යාප්තිය වැඩිවන විට දෙහිඅත්තකණ්ඩියෙන්, කිලිනොච්චියෙන්, සූරියවැවෙන් තව තවත් ජනිත්ලා බිහිවනු ඇත. රස්සාවක් නෑ කියා නාහෙන් අඬන කොල්ලන්ට අලුත් විදිහට හිතන්න මෙය අවස්ථාවක්. ඒ වගේම දැන් ලෝකය වෙනස්.                                                                                                                                                           ජනිත්ගේ නවතම මෝටර් රථය
 

More News..