brand logo

ගතවූ මාස දෙක තුළ දුම්රියේ ගැටී 67ක් මරුට

03 March 2019

මෙම වසරේ ගත වූ මාස දෙක තුළ දුම්රියේ ගැටීමෙන් පුද්ගලයින් 67 දෙනෙකු මිය ගොස් ඇති බව දුම්රිය ආරක්‍ෂණ අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා පවසනවා. ඉන් වැඩි පිරිසක් දුම්රිය මාර්ගයේ ගමන් කිරීමේදී අනතුරට ලක් ව ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. පසුගිය වසර තුළ දුම්රියේ ගැටීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 570ක් වනවා. දුම්රිය මාර්ගවල ගමන් කිරීම පවතින ආඥා පනත අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බවයි දුම්රිය ආරක්‍ෂණ අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා සඳහන් කළේ. එමෙන්ම ඇතැම් අනවසර ඉදිකිරීම් සහ ගොඩනැගිලිවල පිහිටීම ද දුම්රිය අනතුරු බහුලවීමට බලපා ඇතැයි ඒ මහතා පවසනවා. මේ අතර ඊයේ පෙරවරුවේදී ද නාවලපිටිය ජයසුන්දර ප්‍රදේශයේදී සීඝ්‍රගාමි දුම්රියක ගැටී 16 හැවිරිදි තරුණයෙකු සහ 15 හැවිරිදි තරුණියක ජීවිතක්ෂයට පත්ව තිබුණා. දුම්රියේ ගැටීමට ගිය තරුණිය බේරා ගැනීමට තරුණයා උත්සහ කළ අවස්ථාවේදී දෙදෙනාම දුම්රියේ ගැටී ඇති බව පොලිසිය සඳහන් කළේ. අනතුරින් මියගිය 16හැවිරිදි ලලංග හර්ෂ කුමාර නාවලපිටිය දෙකිඳ අලුත්ගම ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර, 15 හැවිරිදි පියුමි භාග්‍යා සෙව්වන්දි පදිංචිව සිටියේ නාවලපිටිය ඉඹුල්පේ ප්‍රදේශයේයී.
 

More News..