brand logo

“ගජ” සුළි කුණාටුව කි.මී. 870ක් දුරින් - අද සිට ධීවර කටයුතුවල යෙදෙන්න එපා

13 November 2018

මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “ගජ” සුළි කුණාටුව මේ වන විට කන්කසන්තුරය සිට ආසන්න වශයෙන් කි.මී 870 පමණ ඊසාන දෙසින් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම සුළි කුණාටු තත්ත්වය අනුව ඉදිරි පැය 24 තුලදී බටහිරට බරව නිරිත දෙසට ගමන් කරමින් තවදුරටත් චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඉහත පද්ධතියේ බලපෑම හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී පොතුවිල් සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුලං වේගය වැඩි විය හැකි අතර මුහුද ඉතා රළු විය හැකියි. පොතුවිල් සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල අද දිනයේ සිට ධිවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වයඹ සිට බස්නාහිර දක්වා දිශා වලින් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 30-40 පමණ වනවා. උතුරු සහ නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 70-80 දක්වා වැඩිවිය හැකි අතර එවිට, එම මුහුදු ප්‍රදේශ ඉතා රළු හෝ දල රළු විය හැකියි. දිවයිනට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩි විය හැකි අතර එවිට, එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරන්නේ.
 

More News..