brand logo

“ගජ” ශ්‍රී ලංකාවට ළගාවෙයි

12 November 2018

මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “ගජ” සුළි කුණාටුව මේ වන විට කන්කසන්තුරය සිට ආසන්න වශයෙන් කි.මී 880 පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 13.4 සහ නැගෙනහිර දේශාංශ 87.1 ආසන්නයේ ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පද්ධතිය ඉදිරි පැය 24 තුලදී බටහිරට බරව නිරිත දෙසට ගමන් කරමින් තවදුරටත් චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඉහත පද්ධතියේ බලපෑම හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී පොතුවිල් සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුලං වේගය වැඩි විය හැකි අතර මුහුද ඉතා රළු විය හැකියි. පොතුවිල් සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල නොවැම්බර් මස 13 වන දා උදෑසන සිට ධිවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හගවනවා. මේ අතර දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වයඹ සිට බස්නාහිර දක්වා දිශා වලින් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 30-40 පමණ වනවා. දිවයිනට උතුරු, නැගෙනහිර සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60දක්වා වැඩිවිය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ රළු විය හැකියි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනවා. දිවයින හරහා, විශේෂයෙන් උතුරු, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යමසහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 40-50 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.
 

More News..