brand logo

‘ගජ’ චණ්ඩ සුළි කුණාටුවක් වෙයි

16 November 2018

‘ගජ’ චණ්ඩ සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට ඉන්දියාවට සහ ශී‍්‍ර ලංකාවට බලපෑම් එල්ලවීමට පටන් ගෙන තිබේ. මේ පිළිබදව ශී‍්‍ර ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් බලන්න... නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ‘ගජ’ චණ්ඩ සුළි කුණාටුව තවදුරටත් බටහිරට බරව නිරිත දෙසට ගමන් කරමින් අද (16) අලුයම 12.30 සහ 02.30 අතර කාලයේදී තමිල්නාඩු සහ පුදුචෙරි වෙරළ තීරයෙන් දකුණු ඉන්දියාවේ ගොඩබිම තුළට ඇතුළු විය. මෙම පද්ධතිය අද (16) අළුයම 02.30 වන විට කන්කසන්තුරය සිට ආසන්න වශයෙන් කි.මී 75 ක් පමණ වයඹ දෙසින් උතුරු අක්ෂාංශ 10.4 සහ නැගෙනහිර දේශාංශ 79.7 ආසන්නයේ ස්ථානගතව පැවතීන. මෙම පද්ධතිය ඉදිරි පැය 6 කාලය තුළ සුළි කුණාටුවක් දක්වා ක්‍රමයෙන් දුර්වල වෙමින් බටහිර දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තුවේ.

ගොඩබිම ප‍්‍රදේශ සදහා :

මෙම සුළි කුණාටු පද්ධතිේ බලපෑම හේතුවෙන් උතුර සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කවලත් අද උදෑසන කාලයේ වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ. යාපනය අර්ධද්වීපය හරහා පැ.කි.මී (80-90) දක්වා වන ඉතා තද සුළං සමග විටින් විට හමන පැ.කි.මී 100 දක්වා වන ප‍්‍රහාරාත්මක සුළං බලාපොරොත්තු වේ. මන්නාරම, පුත්තලම, ත‍්‍රිකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව, කිළිනොච්චි, මුලතිව් සහ වවුනියා දිස්ති‍්‍රක්ක හරහා ද පැ.කි.මී (60-70) දක්වා වන තද සුළං සමග විටින් විට හමන පැ.කි.මී. 80 දක්වා වන ඉතා තද සුළං බලාපොරොත්තු වේ. උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර යාපනය අර්ධද්වීපයේ සහ කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේ මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැක. උතුරු පළාතේ, සෙසු ප‍්‍රදේශවලද මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැක. මන්නාරම සිට කන්කසන්තුරේ දක්වා වන වෙරළාසන්න පහත් බිම් ප‍්‍රදේශවල මුහුදුරළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතී. ත්‍රිකුණාමලය සිට සහ කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධිවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස උපදෙස් දෙනු ලැබේ.

මුහුදු ප‍්‍රදේශ සදහා :

ත්‍රිකුණාමලය සිට පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මුලතිව් සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වයඹ සිට බස්නාහිර දක්වා දිශාවලින් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 30-40 පමණ වේ. මුලතිව් සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල පැ.කි.මී (80-90) දක්වා වන තද සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී 110 දක්වා වන ප්‍රහාරාත්මක සුළං බලාපොරොත්තුවේ. එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වේ. මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-70දක්වා වැඩිවිය හැකි අතර එවිට, එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැක. දිවයිනට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩිවිය හැකි අතර එවිට, එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැක. - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
 

More News..