brand logo

ගංජා පොත පාර්ලිමේන්තුවේ බෙදුවේ කවුද?

11 October 2020

ගංජා පොතක් පසුගිය බ්‍රහස්පතින්දා මැතිසබය උණුසුම් කරන්නට සමත් විය. පාර්ලිමේන්තුවේ බෙදාහැර තිබූ මේ පොත ගැන මුලින්ම ප්‍රශ්න කර සිටියේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී බුද්ධික පතිරණය. කථානායකවරයා අමතමින් බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා විමසා සිටියේ, ගංජා ගැන ලියැවුණු පොතක් ආනන්දය ලබන්නැයි සඳහන් කරමින් පාර්ලිමේන්තුවේ බෙදා හැර තිබෙන බවත්, මේ පොතෙන් කියන්නේ මන්ත්‍රීවරුන්ට, ඇමැතිවරුන්ට ගංජා බොන්න කියන එකදැයි තමා ප්‍රශ්න කරන බවයි. දැන් ප්‍රශ්නය වී ඇත්තේ ගංජා ගැන මේ පොත කථානායකවරයා හා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා නොදැන පාර්ලිමේන්තුවේ සභා ගර්භයට ගෙන ආවේ කෙසේද යන පැනයයි. මන්ත්‍රී බුද්ධික පතිරණ කථානායකගෙන් ඉල්ලා සිටියේ මේ ගැන විශේෂ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවය. බුද්ධික මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ සභාවේ කටයුතු ආරම්භයේදීම වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි. පාර්ලිමේන්තුවේ මේ පොත බෙදා හැර තිබුණේ පසුගිය 8 වැනි බ්‍රහස්පතින්දාය. මෙරට සිටි ජනප්‍රියම බයිස්කෝප් නළුවකු හා දේශපාලනඥයකු වූ විජය කුමාරතුංගගේ 75 වැනි උපන් දිනය යෙදුණේ එදාය. පොතේ නම ඇසූ විට මට හිතුනේ චන්ද්‍රිකා මැඩම් විජයව සිහිවන්නට පොතක් වැරදීමකින් පාර්ලිමේන්තුවේ බෙදා හැරියාද කියාය. පොතේ නම ත්‍රෛලෝක විජයයි. මේ පොතේ ඇති විශේෂත්වය පොත බෙදා හැරීමේ දිනට පෙර දින බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සභා ගැබේ ගංජා ගැන කතාවක් පවත්වා තිබීමය. ඒ ගැන බුද්ධික මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙසේය. ‘‘ගරු කථානායකතුමනි, මම ඊයේ මේ සභාවේදී ගංජා ගැන කතා කළා. ඒ කතා කරලා පැය දෙකක් ගියේ නැහැ. පාර්ලිමේන්තු නිලධාරින්ට මෙහෙම පොතක් බෙදලා තියෙනවා. මේ දවස්වල අමුත්තන්ට පාර්ලිමේන්තුවට එන්න දෙන්නෙත් නැහැ. එහෙම තත්ත්වයක් තිබියදී මෙම පොත් ගෙනාවේ කව්ද? පාර්ලිමේන්තුවේ විවිධ නිලධාරින් අතට මේ පොත ගිහිල්ල තියෙනවා. මේ පොතේ නම ‘‘ත්‍රෛලෝක්‍යාවිජයා’’ පාර්ලිමේන්තුවේ පොත් බෙදුවට කමක් නැහැ. සාමාන්‍යයෙන් පොතක් පිළිගන්වන විට ගරු කථානායකතුමනි, ඔබට බැතියෙන් කියලා සඳහන් කරනවා. මේකෙ තියෙන්නෙ මොකද්ද බලන්න. ආනන්දය ලබන්න. මොකද්ද මේ කියන්නෙ. ගංජා ගහන්න කියන එකනේ. මම මේකෙ තේරුම බන්දුල ගුණවර්ධන ඇමැතිතුමාගෙනුත් ඇහුවා.’’ පාර්ලිමේන්තුවේ පුස්තකාලයට කතාකොට හරියටම පොතේ නම අසා දැන ගතිමි. පොතේ නම ​‘‘ත්‍රෛලෝක්‍යාවිජයා’’ය. පොතේ කර්තෘ වසන්ත සේන වැලිඅංගය. බන්දුල ගුණවර්ධන ඇමැතිතුමාගේ නම බුද්ධික මන්ත්‍රීතුමා සඳහන් කිරීමත් සමග බන්දුල ඇමැතිතුමා තම අදහස ප්‍රකාශ කළේ මෙසේය. ‘‘එතුමා මගේ නම කිව්වා. මගේ උගත් මිත්‍රයා. මේ පොත් බෙදුවේ අපි කියලා එතුමා හිතුවද දන්නේ නැහැ. මොකද අපි පොතපත ලියන නිසා. කිසිම පොතක් මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා නැති බව මම ඔබතුමාට ගෞරවයෙන් දැනුම් දෙන්න කැමැතියි.’’ කවර තත්ත්වයක් යටතේ වුවත් පාර්ලිමේන්තුවේ පොතකට ප්‍රචාරයක් ලැබීම සැලකිය යුතු තත්ත්වයකි. ඊට හේතු වන්නේ අද බොහෝ මන්ත්‍රීවරු ඇමැතිවරුන් පොත් කියවීමෙන් ඉවත්වීමය. ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ තම ඉපැරණි දේශපාලනික පොත් සමග පුස්තකාලයක් හැදුවේ විශේෂයෙන් යූඑන්පී මන්ත්‍රීවරුන්ට අයවැය විවාද හෝ ඕනෑම කටයුත්තකදී කතා පැවැත්වීමට කරුණු සොයා ගැනීමටය. එය ආරම්භයේ සිට වැඩිම කලක් මියෙන තුරාත් අධ්‍යක්ෂ වූයේ ජේ.ආර්.ගේ විශ්‍රාමයෙන් පසු පෞද්ගලික ලේකම්වරයා වූ ප්‍රේමතිලක මාපිටිගමය. මාපිටිගමගෙන් පසු පත් වූ අධ්‍යක්ෂවරයා හමු වී වරක් ජයවර්ධන පුස්තකාලය පාවිච්චි කරන්නේ කව්දැයි විමසා සිටියෙමි. ‘‘ඉඳල හිටලා මන්ත්‍රීවරු එක්කෙනෙක් දෙන්නෙක් එනවා. කවුරුත් ප්‍රයෝජනයක් ගන්නේ නෑ.’’ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා ගංජා පොතක් ලෙස හැඳින්වූ පොත ගැන ඉන්පසු බොහෝ දෙනා කරුණු සොයන්නට විය. අපේ පාර්ලිමේන්තුවට ‘ගංජා’ කියන්නේ අලුත් දෙයක් නොවේ. කලකට ඉහත පාර්ලිමේන්තුවේ වීරසිංහ නමින් මන්ත්‍රීවරයකු සිටියේය. කවුරුත් ඔහු හැඳින්වූයේ ගංජා වීරසිංහ ලෙසය. එතුමා ජවිපෙ ඝාතන සමයේ මියපරලොව ගියේ නන්නාඳුනන වෙඩි පහරකිනි. මංජුල වෙඩිවර්ධන ​ත්‍රෛලෝක නමින් ගීතයක්ද ලියා ඇත. එහි මුල්පද මෙසේය. ත්‍රෛලෝක විජයපත්‍ර පවන් සලන ලෝකේ වෛවර්ණ හීන පේනවා ත්‍රෛරෝදේ කැරකෙන මේ වයිතාල යාමේ සන්සුන් හීන බිඳිනවා ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ ත්‍රෛරෝදෙ ඇඳිලා තියෙනවා සංසාරෙ දකින දෑස ගීතෙකින් ඇහැරේ අපි එකතැන කැරකෙනවා අපේ ගීත සංගීත කලාවේදී ගංජාවලට හිමිවන්නේ විශේෂ තැනක්. ගංජා නිර්මාණශීලීත්වය වර්ධනය කරන බවත්, කතා කිරීමේ හැකියාව වර්ධනය කරන බවත් ඇමරිකාව සොයා ගන්නටත් පෙර අපේ සංගීතවේදියෝ, ගායකයෝ එම සත්‍ය දැන සිටි බව නොකිවොත් එය ටිකක් අඩුපාඩුවක් විය හැකිය. බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කර සිටියේ මේ පොත පාර්ලිමේන්තුවේ බෙදා හැරියේ මන්ත්‍රීවරුන්ට, ඇමැතිවරුන්ට ගංජා ගහනවා දැයි ප්‍රශ්න කර සිටින විටය. ඒ ප්‍රකාශය තුළ ගැබ්වී ඇත්තේ සත්‍ය වශයෙන්ම මෙරට පොදු ජනතාව ‘ගංජා’ ගැන දරන ප්‍රතිරූපයයි. ගංජා ගැන මෙරට ජනතාව වපර ඇසින් බලන්නට වූයේ සුදු ආණ්ඩුව 1818 දී ගංජා තහනමත් සමගය. පසුගිය වසරේ ජුනි මාසයේදී චීනයෙන් අනාවරණය වූයේ මිනිසා ගංජා බොන්නේ වසර 25000 කටත් පෙර සිට බවය. මේ බව තහවුරු වූයේ චීනයේ සොහොන් ගැබකින් සොයාගත් සොහොන් ගැබක අඟුරු කැබැල්ලක දැවුණ දර අතරිනි. එම යුගයේ මිනිසා බොහෝ ගංජා වර්ග මෙන්ම THC සංකීර්ණය පහළ මට්ටමක වූ මානසික උත්තේජනය සඳහා පාවිච්චි කළ හැකි වෙනත් ශාක වර්ගත් වගා කර ඇත. ගංජා අන්තර්ගත අඟුරු කබල් සොයා ගනු ලැබ තිබෙන්නේ පාමීර් කඳුකරයේ (Pamir Mountains) ඉහළ ස්ථානයක පිහිටි Jirzankal සුසාන භූමියකිනි. අඟුරු කබලක බහාලූ ගිනියම් ගල් සමග ගංජා ශාකය තැන්පත් කිරීමෙන් අනතුරුව ඉන් නගින දුමාරය පැරණි මිනිසුන් ආඝ්‍රාහණය කරන්නට ඇත යන්න විද්‍යාඥයන් අදහස් ප්‍රකාශ කරන ලද්දේ පසුගිය වසරේදීය. ලංකාවේ 1818 දී සුදු ආණ්ඩුව කංසා නොහොත් ගංජා තහනම් කෙරෙන්නේ වෙල්ලස්ස කැරැල්ල මර්දනය කිරීමේ උපායක් ලෙසය. චීනයේ වසර 2500 කට පෙර මිනිසුන් ගංජා ආඝ්‍රාහණය කළ ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයක් සිංහලයන් අනුගමනය කොට තිබුණි. සුදු ආණ්ඩුව තේරුම් ගන්නේ සිංහලයාගේ මේ යුද දැනුමට එරෙහිව සටන්වදින නිමාණශීලීත්වය බිහි වන්නේ අඳුර වැටෙන විට සිංහලයා ගිනි​ගොඩක් ගසා එයට ගංජා කොළ දමා ඒ වටා හිඳගෙන ගංජා සුවඳ ආඝ්‍රාහණය කරමින් සාකච්ඡා කිරීමෙන් බවය. බුද්ධික මන්ත්‍රීවරයා ගංජා පොත වෙනුවෙන් මන්ත්‍රීවරුන්ට ගංජා ගහන්නෙ දැයි අවඥාවෙන් කතා කළත් ලෝකය දැන් සොයාගෙන ඇති ගංජාවල ගුණ ගැන දැන සිටියා නම් එතුමා මෙවැනි ප්‍රකාශයක් කරන්නේ නැත. ගංජා පාවිච්චි කරන්නන් සාමාන්‍යයෙන් සිහින් සිරුරැති බව විද්‍යාත්මකව තහවුරු කර තිබේ. හාවර්ඩ් විශ්වවිද්‍යාලය, Nebraska විශ්වවිද්‍යාලය මධ්‍යස්ථානය සිදු කළ පරීක්ෂණ හරහා මේ බව තහවුරුව ඇත. මීට හේතුව ගංජා තුළින් දිනකට කැලරි 600 ක් පමණ දහනය වීම බව හෙළිදරව් වී තිබේ. පාර්ලිමේන්තුවේ වැඩිම පිරිසක් ඇත්තේ දියවැඩියා රෝගීන්ය. ගංජා දියවැඩියා නැසීමේ ඖෂධයක් ලෙසද ක්‍රියාකරයි. ඇමරිකානු සෞඛ්‍ය සහ පෝෂණ පරීක්ෂණ ආයතනය පවසන්නේ ගංජාවල අඩංගු Tetrahybrocannabinol (THC) නම් රසායනික මගින් ශරීරයේ ඉන්සියුලින් ප්‍රතිශතය පාලනය කරන බවයි. ඊටත් වඩා ඇමැතිවරුන්ට ඇති ආතතියට ගංජා ටිප්ටොප් ඖෂධයකි. විවිධ පරීක්ෂණ හරහා තහවුරුව ඇත්තේ ගංජා නිතර පාවිච්චි කරන්නන් තුළ ආතතියේ ලක්ෂණ දක්නට නොලැබෙන බවයි. මීට වසර 8 කට පෙර 2012 වර්ෂයේ සිදු කළ පරීක්ෂණයක් හරහා තහවුරුව ඇත්තේ ගංජා පිළිකා පැතිරීම පාලනය කරන බවයි. බ්‍රිතාන්‍ය තුළ ගංජා යොදා ගෙන ලියුකේමියා රෝගය සුව කර තිබෙන අතර පිළිකා පිළිබඳ පරීක්ෂණ පවත්වන (Molecular Cancer Therapeutics ආයතනය මෙය තහවුරු කර දැන් වසර 10 කට ආසන්නය. ඊටත් වඩා අපේ පැරැණ්නෝ කාය ශක්තිය හා ලිංගික ශක්තිය පිටුපස සිටි දැවැන්ත බලවේගය වූයේ කංසා නොහොත් ගංජාය. එහෙත් කනගාටුවට කරුණ වන්නෙ සුද්දන්ගේ මේ ගංජා තහනම අපේ කළු සුද්දන් රට භාරගත් දා ඉඳලත් අඛණ්ඩව ක්‍රියාත්මක වීමය. යහපාලන ආණ්ඩුවේ හිටපු සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න ගංජා තහනම ඉවත් කරන්නට වරක් කැබිනට් පත්‍රිකාවක් පවා ගෙන ආ බව අද බොහෝ දෙනාට අමතකය. ගංජා ඇල්ලූ විට ඇති ප්‍රධාන චෝදනාව ඒවා ගිනි තැබීමය. වරක් සුරාබදු කොමසාරිස්වරයාගෙන් මා මේ ගැන විමසූ විට උන්නැහේ පැවසුවේ නීතිමය ප්‍රශ්න මත ආයුර්වේද දෙපාර්තමේන්තුවට එම ගංජා ලබාදිය නොහැකි බවය. එසේ නම් අල්ලන කුඩු ගිනි තියන්නේ නැත්තේ ඇයිදැයි ඇසූ ප්‍රශ්නයට නම් එවකට සුරාබදු කොමසාරිස්තුමාට උත්තරයක් තිබුණේ නැත. 2016 දී සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න ඖෂධ හැදීමට ඉන්දියාවෙන් ගංජා ගෙන ඒමට කෝටි ගාණක් යන බැවින් ගංජා වැවිය යුතු බවට කළ ප්‍රකාශයට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා කළේ මෙවැනි ප්‍රකාශයකි. ‘‘ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව කිසිම දිනෙක ඉන්දියාවෙන් කංසා (ගංජා) මිලදී ගෙන නැහැ. පොලිසිය හා සුරාබදු නිලධාරින් විසින් නීති විරෝධී ගංජා හේන් වැටලීමෙන් අල්ලා ගනු ලබන ගංජා අධිකරණය මගින් ආයුර්වේද සංස්ථාවට ලබා දෙන හින්ද සංස්ථාවේ ගංජා හිඟයක් ඇත්තේම නැහැ.’’ දැන් ප්‍රශ්නය ඇත්තේ ඇත්ත කියන්නේ හිටපු සෞඛ්‍ය ඇමැතිද, සුරාබදු කොමසාරිස්ද, නැතිනම් ඖෂධ සංස්ථාවේ හිටපු සභාපතිද බවය. අප අවසානයේ මේ ත්‍රෛලෝක්‍යා විජයා කෘතියේ කර්තෘ වසන්ත සේන වැලිඅංගගෙන් පාර්ලිමේන්තුවේ සිදු වූ සිදුවීම ගැන අසා සිටියෙමු. ‘‘මේ පොත මුලින්ම මුද්‍රණය කළේ 2017 අවුරුද්දේ. දැන් පොත් 3000 කට වැඩි විකිණිලා තියෙනවා. මේ පොතේ තියෙන්නේ ගංජාවල තියෙන ආයුර්වේද ගුණ ගැන ඔය පාර්ලිමේන්තුවේ පොත බෙදීම ගැන නම් මගේ කිසිම සම්බන්ධයක් නැහැ. ඊටත් වඩා දැන් පාර්ලිමේන්තුවට ඇතුළු වීමත් සීමා කරලා තියෙන්නේ. පොතේ කර්තෘ වසන්ත කියන කතාව ටිකක් දිග එකකි. මාස 6 කට පෙර ඔහු මෙම පොතේ තුන්වැනි මුද්‍රණයක් කරන්නට ගියත් මුදල් තිබී නැත. ඔහු කළේ අන්තර්ජාලය හරහා Online පොත් වෙන්කරගන්නා ලෙස දැන්වීමක් පළ කිරීමය. සැලකිය යුතු පිරිසක් පෙර ගෙවුම් ක්‍රමයට දායක වීම නිසා පොත නැවත මුද්‍රණය කරන ලදී. පාර්ලිමේන්තුවේ විතරක් මේ පොතේ පොත් 10 ක් වෙන්කර ගෙන තිබූ අතර බුද්ධික පතිරණ මන්ත්‍රීවරයාගේ අතට අසුවී ඇත්තේ එයින් එක් පොතකි. වසන්ත කියන්නේ මේ පොත පාර්ලිමේන්තුවට යවා මාස 2 කට වැඩි බවය. මේ අතර පසුගියදා බන්දුල ඇමැතිවරයා මේ පොත් 2 ක් මිලදී ගෙන එක් පොතක් ජනාධිපතිවරයාටත්, අනික් පොත කැනේඩියානු තානාපතිවරයාටත් තෑගිකොට තිබුණා. පසුගියදා වෙ​ෙළඳ සංගමයත් බන්දුල ඇමැතිවරයාගෙන් ගංජා ගැන රජයේ ප්‍රතිප්තතිය ගැන ඇසූ විට පවසා ඇත්තේ ආණ්ඩුව ගංජා ගැන තවම සිතමින් සිටින බවය. දැන් ප්‍රශ්නය වී ඇත්තේ ඉන්දියාව, නේපාලය, පාකිස්තානය වැනි කලාපීය රටවල් කංසා තහනම් ඉවත්කොට ඖෂධ අවශ්‍යතාවට ගංජා වැවීමට අවසර දීමය. දැන් මේ කලාපයෙන් ඉතිරිව ඇත්තේ ලංකාව පමණය. ලංකාවේ උදවිය යමක් කමක් හිමි කරගත් විට තම දරුවන් යවන්නේ කැනඩාව, ඇමරිකාව වැනි රටවලටය. මේ රටවල දැන් ඉඳගෙන බීමට හෝ ගෙදර ගෙන ගොස් පානයට අපි මේ මහ ඉහළින් තහනම් කොට ඇති ඖෂධය මිලදී ගත හැකිය. දැන් ප්‍රශ්නය වී ඇත්තේ ‘ගංජා’ නම් තහනම් අයිතමය ගැන පර්‌යේෂණ කරන්නට යන්නේ කවුරුන්ද යන ප්‍රශ්නයයි. ගංජා ලොව තහනම් කෙරෙන්නේ 1961 එක්සත් ජාතීණ්ගේ එකල ප්‍රතිපත්තිය හරහාය. කිසිම ගුණයක් නැති මත්ද්‍රව්‍යයක් ලෙස ගංජා තහනමට ලක්විය. එහෙත් දැන් ගංජා ගැන සත්‍ය හෙළිවෙමින් පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පසුගිය වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මේ තහනම ගැන නැවත සලකා බලන ලෙස දක්වන ලදී. ඒත් ඉතිං ලෝකේ මොනව වුණත් අපේ ගංජා නොහොත් කංසා තහනම සුද්දා අපේ ඔළුවේ රෝපණය කළ ප්‍රතිරූපය වෙනස් කරන්නට කිසිදු ආණ්ඩුවක් සමත් වූයේ නැත. බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා කථානායකතුමාගෙන් අසා සිටින්නේ තෛලෝක්‍යාවිජයා පොත පාර්ලිමේන්තුවේ බෙදාහැරීමෙන් මන්ත්‍රීවරුන්ට ඇමැතිවරුන්ටත් ගංජා ගහන්නට දැයි ප්‍රශ්න කරමිනි. ලිපියේ අවසනට මැති ඇමැතිවරුන්ට නොව ළදරුවන්ගේ අසනීපවලට ගංජා නොහොත් කංසා දෙන හැටි අවුරුදු 126 කට පෙර 1894 ප්‍රකාශිත යෝගසේකරයේ හෙවත් කුමාරඖෂධ සංග්‍රහයේ කවි දෙකක් උපුටා දක්වමි. වජිර ලියනගේ
 

More News..