brand logo

ගංජා ප්‍රචලිත කිරීම පසුපස ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්

23 September 2020

දිවයින පුරා මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙමින් තිබියදී ගංජා නීතිගත කරන ලෙස ඉල්ලා පිරිසක් නැගී සිටීම පිටුපස ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් පවතින්නේදැයි තමන් වහන්සේට සැකයක් පවතින බව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ පවසති. උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (22) කොළඹ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාව විසින් එය සංවිධානය කර තිබුණි. ඇතැම් විදෙස් රටවල්හි තෝරාගත් ප්‍රාන්තවල සීමිතව ගංජා භාවිතයට අවසර දීම තුළ එය ලොව පුරා ව්‍යාප්ත කිරීමේ උත්සහයක් ඇති බව පෙනීයන්නේ යැයිද උන්වහන්සේ මෙහිදී සඳහන් කළහ. මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල් හිමිපාණෝ මෙසේද පැවැසූහ. ‘‘ආර්ථික වාසී ලැබීමේ අරමුණින් යම් යම් ව්‍යපාරිකයන් මීට ඇස ගසාගෙන සිටිනවා. ගංජා සිගරට් වගේ දේවල් වෙළෙඳපොළට ආවොත් ඊට ඇතිවන ඇබ්බැහි වීම නතර කරන්න බැරිවේවි. පසුගිය මාස කිහිපයක සිට ලංකාවේ කංසා වගා කළ යුතු බවට මතයක් ගොඩනගමින් තිබෙනවා. ඒ මතය සමහර ඇමැතිවරුන් පවා සනාථ කරනවා. ඒ වගේම මේ සම්බන්ධව තානාපති කාර්යාල සමග සාකච්ඡා කරමින් සිටින බවත් අනාවරණය වෙලා තියෙනවා.මෙය ඛේදනීය තත්ත්වයක්.’’ මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාවේ සභාපති අති පූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමිපාණෝ පැවැසුවේ මෙය ජාතික ව්‍යසනයක් බවය. ‘‘ගංජා ප්‍රචලිත කිරීමට සැඟවුණු සංවිධාන ක්‍රියාත්මකයි. ගංජා ප්‍රචලිත කරන ලෝක බලවේගය ශ්‍රී ලංකාවට ඇවිත්. කෙසේ නමුත් ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා යම් වැඩපිළිවෙළක් සකස් කරගෙන යනවා. අපි එය අගය කළ යුතුයි. අනෙකුත් මැති ඇමතිවරුත් ඊට සහයෝගය ලබාදිය යුතුයි.’’ මෙහිදී අදහස් දැක්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කොළඹ ජාතික රෝහලේ මද්‍යසාර, දුම්කොළ මත්ද්‍රව්‍ය ආශ්‍රිත රෝග සම්බන්ධ සායනයේ ප්‍රධානී මනෝ වෛද්‍ය විශේෂඥ මහේෂ් රාජසූරිය මෙසේ පැවසීය. ‘‘බිං කොහොඹ හෝ වල්ලපට්ට නීතිගත කිරීමේ ව්‍යපාරයක් ගැන හඬක් කොහෙන්වත් ඇහෙන්නේ නෑ. ෆේස්බුක් එකේ ඒකට පිටු නෑ. නමුත් ගංජා නීතිගත කරන්න, කියන්න පිටු තිබෙනවා. මේකේ අරමුණ ජනප්‍රිය නීතිගත මත්ද්‍රව්‍යක් බවට ගංජා පත්කිරීම. දැනටමත් ආයුර්වේද වෛද්‍යවරුන්ට ඖෂධ සැදීමට අවශ්‍ය අමුද්‍රව්‍යක් ලෙස ගංජා භාවිත කරන්නට ඉඩ දී තියෙනවා. ශ්‍රී ලංකාවේ සියලුම මනෝ වෛද්‍යවරුන්ට පෞද්ගලිකව දැනෙනවා මහා විනාශයක් සිද්ධවෙන්න නියමිත බව. අපි සායනයට යන හැම දිනකම අවම වශයෙන් එක් තරුණ පුද්ගලයෙකුවත් අපට මුණ ගැසෙනවා ගංජා භාවිතය නිසා මානසික අවපීඩනයට ලක්වුණ. ලොව පුරා ගංජා පැතිරවීම පිටුපස සිටින්නේ ජාත්‍යන්තර බහු ජාතික සමාගම්. ඊට සාක්ෂිත් තිබෙනවා. මේ වැඩේට නොයෙකුත් සංවිධාන එකතුවෙලා. මේ නිසා දුම්කොළ සමාගම්වලට පුළුවන් ඔවුන්ගේ අඩුවෙමින් පවතින ව්‍යාපාරය යළි ඉහළ දැමීමට. දුම්කොළ සමාගම්වලට පුළුවන් තියෙන ඉඩම්වල ගංජා වවන්න. ගංජා සිගරට් නීතිමය අවසරය ඇතුව හදන්න. ඒ වගේම ගංජා කියන්නේ හෙරෝයින්වලට වඩා අඩු හානියක් තිබෙන මත්ද්‍රව්‍යක් නෙවෙයි. මානසික සහ භෞතික හානි විශාල වශයෙන් සිදුවෙනවා. බෙහොමයක් හානි සදාකාලිකව ඇතිවන හානි. සමහර දේශීය වෛද්‍යවරු ගංජා නීතිගත කරන්න කියලා ඉල්ලනවා. නීතිගත කරන්න දෙයක් නෑ. ඔවුන්ට ඖෂධ සඳහා අවශ්‍ය වන ගංජා ලැබෙනවා. ජාත්‍යන්තර බලවේගවලට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ පුද්ගලයන් පාවිච්චි කරමින් ආසියානු රටවල නීතිමය අවසරය ඇතුව ගංජා භාවිතයට ඉඩ සැලසීම.’’ ශිරන්තනි මානවඩු
 

More News..