brand logo

ගංඟා කිහිපයක්ම පිටාර ගැලීම නිසා ගංවතුර තත්ත්වයක්

16 May 2021

මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවත්නා වැසි සහිත කාලගුණය හේතුවෙන් ගංඟා කිහිපයක ජල මට්ටම තවදුරටත් ඉහළ ගොස් ඇති අතර ඇතැම් ස්ථානවල ගංවතුර තත්වයන්ද හටගෙන තිබේ. ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ කැලණි, කළු, ගිං, නිල්වලා යන ගංඟාවල ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර ගිං ගඟ බද්දේගම ප්‍රදේශයෙන් පිටාර ගලා ගංවතුර තත්වයක් හට‍ගෙන තිබෙන බවය. මිට අමතරව කළුගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන් සුළු ගංවතුර තත්වයක් හටගෙන ඇත. මේ අතර අත්තනගලු ඔයේ සහ මහ ඔයේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇත. අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන් සුළු ගංවතුර තත්වයක් හටගෙන තිබෙන බව වාර්තා වෙයි. ඒ අනුව පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය 13වන දින සිට මේ දක්වා දිස්ත්‍රික් 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 61කට බලපෑම් එල්ල වී ඇත. පුද්ගල මරණ 4ක් සිදුව තිබෙන අතර දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 11,074කට අයත් පුද්ගලයින් 42,252 දෙනෙකු පීඩාවට පත්ව තිබෙන අතර පවුල් 205කට අයත් පුද්ගලයින් 853 දෙනෙකු මේ වන විට ආරක්‍ෂිත ස්ථානවල රැඳී සිටී. දිවයිනේ දිස්ත්‍රික්ක 6කට නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ද පියවර ගෙන ඇත. ඊයේ (15) රාත්‍රී 7 සිට අද (16) රාත්‍රී 7 දක්වා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මෙම අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ. කොළඹ, කළුතර, මාතර, ගාල්ල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා අනතුරු ඇඟවී සිදුකර ඇත. මේ අතර පවුල් 150,000කට පමණ විදුලිය විසන්ධිවීම් සිදුව තිබු බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කරන අතර ඇතැම් ස්ථානවල විදුලි බලය යථාතත්වයට පත් කිරීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වී ඇත.
 

More News..