brand logo

ඛනිජ ගවේෂණය මුවාවෙන් සම්පත් කොල්ලයකට අර අඳිනවාද?

01 February 2021

සේරුවාවිල ප්‍රදේශයේ ඛනිජ සම්පත් අතර රත්තරන් තිබෙන බවට අනාවරණය වීමත් සමග මෙරට ඛනිජ සම්පත් පිළිබඳව බොහෝ දෙනෙකුගේ වැඩි අවධානයක් යොමුවී ඇත. මෙරට ඛනිජ සම්පත් ගවේෂණ කටයුතුවල සමාගම් 67 ක් නිරතව සිටින අතර, විදේශීය සමාගමක්ද ඒ අතර ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය කියයි. නමුත්, ඕස්ට්‍රේලියානු සමාගමක් විසින් එරට කොටස් වෙළෙඳපොළට නිකුත් කරන ලද මෙරට ඛනිජ සම්පත් සම්බන්ධ වාර්තාවක් නිසා අද වන විට ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගතව තිබේ. 2009 අංක 66 දරන පනතින් සංශෝධිත 1992 අංක 33 පතල් හා ඛනිජ ද්‍රව්‍ය දරන පනතේ 28-1 වගන්තියේ සඳහන් පරිදි ඛනිජ ගවේෂණ, කැණීම්, ප්‍රවාහන, අපනයන, වෙළෙදාම සහ ගබඩා කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් එම පනතේ 29 වැනි වගන්තියේ සඳහන්වේ. ශ්‍රී ලාංකිකයෙක් වන පුරවැසියෙක් විය යුතුයි, සමාගමක් ලෙස ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තිබිය යුතුයි, විදේශීය සමාගමක් වූවත් මෙරට ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තිබිය යුතුය. යන සුදුසුකම් එම වගන්තියේ දැක්වේ. නමුත්, මුදල් අමාත්‍යාංශය විසින්ද කාණ්ඩ දහයක් යටතේ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඛනිජ කැණීම් සඳහා විදේශීය ආයෝජනයක් තිබේ නම් එම සමාගම අනිවාර්යයෙන්ම සියයට 60 ක් දේශීය විය යුතු අතර, සියයට 40 ක් විදේශීය විය යුතුය. මෙරට ඛනිජ ගවේෂණය සිදු කරනු ලබන සමාගම්වලින් විදේශීය සමාගම් ඇත්තේ එකක් පමණක් බවත් අනෙක් සියල්ලම දේශීය සමාගම් බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි. එම විදේශීය සමාගම වන්නේ පුත්තලම ඉල්මනයිට් සමාගමය. ඔස්ට්‍රේලියානු සමාගමක් විසින් ඉකුත් වසරේ (2020) ජූලි මාසයේදී එරට කොටස් වෙළෙඳපොළට වාර්තාවක් නිකුත් කරන ලදී. එම වාර්තාවේ සඳහන්ව ඇත්තේ මන්නාරම දූපතේ ඛනිජ ගවේෂණය සඳහා එම සමාගමට බලපත්‍රයක් තිබෙන බවය. මේ පිළිබඳව කර්මාන්ත අමාත්‍යාංශය විසින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයෙන් විමසීමක්ද කරනු ලැබීය. අදාළ ටයිටේනියම් ලිමිටඩ් නමැති ඔස්ට්‍රේලියානු සමාගමට මෙරට ඛනිජ සම්පත් ගවේෂණය සඳහා අවසරය හෝ බලපත්‍රයක් නිකුත් කර නොමැති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි. නමුත්, ඔස්ට්‍රේලියානු සමාගම විසින් එරට කොටස් වෙළෙඳපොළට නිකුත් කරන ලද වාර්තාවේ සඳහන් කර ඇත්තේ, මෙරට සමාගම් සඳහා කාර්යාංශය විසින් ලබා දුන් ගවේෂණ බලපත්‍ර නමයක් තමන් සතු බවය. එමෙන්ම, එම සමාගම් ලියාපදිංචි වී ඇත්තේද දේශීය ආයෝජකයන්ගේ නම්වලින් බවත්, එම ඉල්ලුම්පත්වල විදේශීය ආයෝජකයන්ගේ නම් නොමැති බවද අනාවරණය වී තිබේ. මේ සම්බන්ධව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් අදාළ බලපත්‍ර හිමි සමාගම්වලින් එම බලපත්‍ර ඔස්ට්‍රේලියානු සමාගමකට විකුණා ඇත්දැයි විමසීමක් සිදු කර ඇති අතර, ඔවුන් පවසා ඇත්තේ එවැනි විකිණීමක් සිදු නොකළ බවය. එමෙන්ම, ගවේෂණ බලපත් ලබා ගත් යම් දේශීය සමාගමක් විදේශීය සමාගමක් සමග පසුකාලීනව සම්බන්ධ වන්නේ නම් ඒ පිළිබඳව අනිවාර්යයෙන්ම භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය දැනුවත් කළ යුතුය. විදේශීය කොටස් වෙළෙඳපොළට නිකුත් කරන ලද වාර්තාව සම්බන්ධව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය අදාළ ඔස්ට්‍රේලියානු සමාගමෙන් විමසීමක්ද කර නැත. කැණීම් බලපත්‍රයක් පැවරීමේ හැකියාව පැවතියද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ පනතට අනුව ගවේෂණ බලපත්‍රයක් කිසිවෙකුට පැවරීමක් සිදු කළ නොහැකිය. ගවේෂණයක් සිදු කරනු ලබන්නේ කැණීම් සිදු කිරීම සඳහා ප්‍රමාණවත් තරම් ඛනිජ ඇත්දැයි සොයා බැලීම සඳහාය. මේ අනුව අදාළ ඔස්ට්‍රේලියානු සමාගම මෙරට ඛනිජ නිධිවලට හිමිකම් කියමින් වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවේ මෙරට සමාගම්වල අනුග්‍රහයෙන් තොරව බවට කිසිසේත්ම නිගමනය කළ නොහැකිය. ඛනිජ ගවේෂණය මුවාවෙන් ඛනිජ සම්පත් කැණීම් කටයුතුද හොර රහසේ සිදුවීම වැළැක්විය හැක්කේ කාහටද. දේශීය ඛනිජ සම්පත් මංකොල්ලය සිදුවන්නේ මෙවැනි ගවේෂණ කටයුතුවලිනි. අනෙක් කාරණය නම් ඛනිජ සම්පත් ගවේෂණය සඳහා අය කරන්නේ සොච්චමකි. යම් සමාගමක් විසින් ගවේෂණ බලපත්‍රයක් ලබා ගැනීමේදී ගවේෂණය සිදු කරන ප්‍රදේශය භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය අයැදුම් පත්‍රය සමග දැනුවත් කළ යුතුය. ඛනිජ සම්පත් ගවේෂණය සඳහා වර්ග කිලෝමීටරයක් සඳහා අයකරන මුදල රුපියල් 3000 කි. කැණීම් බලපත්‍ර ලබා දීමේදී හෙක්ටයාර් එකකට රුපියල් පනස් දහසක මුදලක් අය කෙරේ. මෙම ගාස්තු ප්‍රමාණවත් නොවන බැවින් සංශෝධනය සඳහා යොමුකර ඇතැයිද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය කියයි. ලංකාව පුරා ගවේෂණ බලපත්‍ර 67 ක් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් නිකුත් කර ඇත. මිනිරන්, ඛනිජ වැලි, හුනුගල් ආදිය සඳහා මෙම බලපත්‍ර නිකුත් කර තිබේ. මෙම සමාගම් සියල්ලම දේශීය බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය කියයි. වාණිජමය වශයෙන් ප්‍රමාණවත් පරිදි රත්තරන් මෙරට භූමියේ අඩංගුදැයි සම්බන්ධව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් මේ දිනවල සමීක්ෂණයක්ද අරඹා තිබේ. සාලිය කුමාර ගුණසේකර
 

More News..