brand logo

ඛනිජතෙල් සංස්ථාවේ සේවකයින් 900කගේ ඌනතාවයක් - සපුගස්කන්දේ පුරප්පාඩු 760ක්

23 December 2019

ශ්‍රී ලංකා ඛනිජතෙල් සංස්ථාව නොවැම්බර් මාසයේ අතිකාල දීමනා සඳහා රුපියල් මිලියන 107ක් වැය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සදහන් කරයි. ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අතිකාල දීමනා සම්බන්ධයෙන් තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙස ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් එහි සාමාන්‍යාධිකාරිවරයාහට උපදෙස් ලබා දී තිබිණි. ඒ අනුව සාමාන්‍යාධිකාරිවරයා විසින් ඉකුත් සිකුරාදා ඒ සම්බන්ධ වාර්තාවක් අමාත්‍යවරයා වෙත ලබා දී තිබේ. එහි දැක්වෙන පරිදි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අනුමත කාර්ය මණ්ඩලය 3248ක් වුවද, දැනට සිටින සේවක සංඛ්‍යාව 2375කි. ඒ අනුව මේ වනවිට එහි සේවක සංඛ්‍යාව 900ක පමණ ඌනතාවයක් පවතී. එමෙන්ම සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ද 760කගේ පමණ පුරප්පාඩු පවතින බවද එම වාර්තාවේ දක්වා ඇත. ඒ අනුව සපුගස්කන්ද තෙල් පිරිපහදුව, මධ්‍යම, උතුර, නැගෙනහිර, හා උතුරුමැද, සබරගමුව, ඌව, බටහිර දකුණ, දකුණ, බටහිර උතුර යන ප්‍රාදේශිය කාර්යාලවල සහ කටුනායක, රත්මලාන, මත්තල ගුවන් තොටුපොළ ඉන්ධන ගබඩාවල සේවය කරන සේවකයින් සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් නොවැම්බර් මාසයේ ගෙවා ඇති සම්පුර්ණ අතිකාල ප්‍රමාණය රුපියල් 84,262,843කි. එමෙන්ම ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අනුබද්ධව ක්‍රියාත්මක වන ආයතන 27ක සේවය කරන සේවකයින් සඳහා සහ ඉහත සඳහන් කළ ආයතන ද ඇතුළත්ව නොවැම්බර් මාසය තුළ වැය කර තිබෙන සම්පූර්ණ අතිකාල දීමනා ප්‍රමාණය රු.107,906,080කි. කෙසේ වුවද මෙම කාරණය සම්බන්ධව සොයා බලා සුදුසු පරිදි පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මියට උපදෙස් දී තිබේ. පුරප්පාඩු පවතින්නේ නම් එම පුරප්පාඩු සඳහා පත් කිරීම් ප්‍රමාද ව ඇත්තේ ඇයි ද යන්න සොයා බලා සුදුසු පියවර ගැනීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දෙනු ලැබීය.
 

More News..