brand logo

ක‍්‍රීඩා අමාත්‍යාංශය වත්ත බද්දට දී ඇස්සට දත නියවයි

17 August 2018

ක‍්‍රීඩා අමාත්‍යාංශයෙන් කෝටි ගණනින් මුදල් වියදම් කර පළාත් පාලන ආයතන සහ පාසල් සදහා ඉදිකරදී ඇති ක‍්‍රීඩාංගණ පිහිනුම් තටාක ආදිය ක‍්‍රීඩා අමාත්‍යංශයේ අවශ්‍යතා වෙනුවෙන් ලබාගැනීමේදී අදාළ පාලන ආයතනවලට මුදල් ගෙවීමට සහ සියලු කොන්දේසිවලට යටත්වන්නට සිදුවීම පුදුමයට කරුණක් යැයි ක්‍ෂේත‍්‍රයේ පිරිස් පවසති. ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් මෙහෙයවෙන ප‍්‍රමුඛතම වාර්ෂික ඉසව්ව වන ජාතික ක‍්‍රීඩා උළෙලේ පළාත් අදියරේ තරග මේ වන විට ක‍්‍රියාත්මක අතර එම තරග සංවිධායකයන් ද මෙම තත්ත්වය මත අපහසුතාවට ලක්ව ඇති බව වාර්තා වේ. ක‍්‍රීඩා යටිතල පහසුකම් දියුණු කිරීමේ අරමුණින් යුතුව, තමන් යටතේ නොවන රාජ්‍ය ආයතනවලට මෙවැනි ඉදිකිරීම් සඳහා විශාල වශයෙන් මුදල් ප‍්‍රතිපාදන සපයාදීමට ක‍්‍රීඩා අමාත්‍යංශය ඉදිරිපත් වුවද එසේ ඉදිවන ක‍්‍රීඩා පහසුකම්, ක‍්‍රීඩා අමාත්‍යංශයේ අවශ්‍යතාවකදී නොමිලේ ලබාදීමට හෝ යම් ප‍්‍රමුඛතාවන් ලබාදීමේ එකඟතාවක් ක‍්‍රියාත්මක නොවීම මෙයට හේතුව වී ඇති බව ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ පිරිස් වැඩිදුරටත් පවසති. බදුල්ල වින්සන්ට් ඩයස් ක‍්‍රීඩාංගණය මේ සඳහා උදාහරණයක් යැයිද ඔවූහු පවසති. ක‍්‍රීඩා අමාත්‍යංශය එහි සංවර්ධන කටයුතු වෙනුවෙන් මූලිකව රුපියල් මිලියන 276ක් සහ පසුව තවත් විශාල මුදල් ප‍්‍රතිපාදන ප‍්‍රමාණයක් ලබාදී ඇතත් ක‍්‍රීඩා අමාත්‍යංශයේ තරගාවලි සඳහා එය ලබාගන්නේ, මලල ක‍්‍රීඩා තරගයක් වෙනුවෙන් රුපියල් 10,000ක්, ක‍්‍රිකට් හෝ පාපන්දු තරගයක් වෙනුවෙන් රුපියල් 4000ක් , දැල්පන්දු තරගයක් සඳහා රුපියල් 2500ක්ද, ක‍්‍රීඩාංගණයේ විශේෂ නැරඹුම් මැදිරිය සඳහා රුපියල් 10000ක් ආදී වශයෙන් (එක් දිනක් සඳහා) බදුල්ල නගර සභාවට මුදල් ගෙවීමෙන් බවට ඔවූහු වැඩිදුරටත් පවසති. ක‍්‍රීඩා අමාත්‍යංශය මගින් අති විශාල මුදලක් සපයාදීමෙන්, මහනුවර ප‍්‍රදේශයේ පාසලක ඉදිකර ඇති පිහිනුම් තටාකයක් ජාතික ක‍්‍රීඩා උළෙලේ මධ්‍යම පළාත් පිහිනුම් තරග පැවැත්වීම සඳහා ලබා ගැනීමට නොහැකිවූ බවද පසුගියදා වාර්තා විය.
 

More News..