brand logo

ක‍්‍රීඩා අමාත්‍යංශයේ කබඩි නිලධාරියාට ජකාර්තා යෑමට ‘සන්තෝසමක් ’ ?

10 August 2018

මෙම 18 වැනිදා ඉන්දුනීසියාවේ ජකර්තා හිදී ඇරඹෙන ආසියානු ක‍්‍රීඩා උළෙල වෙනුවෙන් ශ‍්‍රී ලංකා කබඩි සම්මේලනය විසින් කබඩි විනිශ්චයකරුවෙකු ලෙසින් ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ කබඩි ව්‍යාපෘති නිලධාරියාව රැගෙන යන්නේ කුමන පදනමක් මතදැයි එම ක්‍ෂේත‍්‍රයේ පිරිස් ප‍්‍රශ්න කරති. අදාළ නිලධාරියා පසුගිය වසර 20 කාලයක් තුළ කිසිදු කබඩි තරගයක් විනිශ්චය කර නොමැති බවත්, කබඩි ක‍්‍රීඩාවේ නව නීති ආදිය ගැන දැනීමක් නොමැති මොහුව මෙලෙස මෙම සංචාරය සඳහා තෝරාගෙන ඇත්තේ ‘සන්තෝසමක් ’ වශයෙන් යැයිද ඔව්හු පවසති. එම නිලධාරියා ඉකුත් ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ කාලයේ එවක පැවැති ජාතික කබඩි පරිපාලනය ගැන අමාත්‍යවරයාට ගතු කියමින් එම පරිපාලනය විසුරුවාහැර, වත්මන් පරිපාලනය ගෙන ඒම පිණිස තිරය පසුපස විශාල කාර්යභාරයක් ඉටුකළ අයෙකු බවත්, ඒ වෙනුවෙන් ‘කළගුණ දැක්වීම’ පිණිස වත්මන් පරිපාලනය විසින් ඔහුට මෙම සංචාරය පිරිනමා ඇති බවත් වාර්තා වේ. ආසියානු කබඩි සම්මේලනය විසින් ආසියානු ක‍්‍රීඩා උළෙල සඳහා විනිසුරුවරයෙකු ලෙස මොහුව සෘජුවම තෝරාගෙන ඇතැයි ශ‍්‍රී ලංකා කබඩි සම්මේලනය පවසා සිටිය ද ආසියානු කබඩි සම්මේලනයේ තාක්‍ෂණික අධ්‍යක්‍ෂක ඊ. ප‍්‍රසාද් රාවෝ විසින් ශ‍්‍රී ලංකා කබඩි සම්මේලනය වෙත යොමුකරන ලද ලිපියකට අනුව එය ආසියානු සම්මේලනයේ අනුදැනුමක් නොමැති තෝරාගැනීමක් බව පැහැදිළි වේ. විනිශ්චයේ අත්දැකීමක් නොමැති මෙවැනි අයෙකු, ජාතික සම්මේලනයේ යටි අරමුණු වෙනුවෙන්, ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තරය හමුවට යැවීම රටම හෑල්ලූවට ලක්වීමට කරුණක් විය හැකි යැයි කබඩි ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීනයෝ පවසා සිටිති.
 

More News..