brand logo

කෝවිඩ් 19 නිසා මිතුරන් හඳුනාගත්තා - චීන තානාපති

24 February 2020

කෝවිඩ් -19 හෙවත් කොරෝනා වෛරසය පැතිරීමත් සමග සැබෑ මිතුරන් කවුරුන්ද යන්න හඳුනා ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති යෙන් ෂු ආන් ප්‍රකාශ කරයි. තානාපතිවරයා මේ බව සඳහන් කරන්නේ ‘ආදරණීය ශ්‍රී ලාංකිකයිනි’ යන ආමන්ත්‍රණයෙන් යුක්තව නිවේදනයක් නිකුත් කරමිනි. එහි​ මෙසේද සඳහන් වෙයි. පසුගිය සති කිහිපයේදී මාගේ හදවත වෙනදාටත් වඩා බොහෝ සෙයින් කම්පාවට පත්විය. මාගේ නිවස බඳු ශ්‍රී ලංකාව කෝවිඩ් -19 වෛරසයට විරුද්ධව සටන් වැදුණු ආකාරය ශ්‍රී ලාංකික ජනතාව චීනය කෙරෙහි දක්වන මිත්‍රශීලීත්වය පෙන්නුම් කරන්නක් විය. චීනයට සැතපුම් ගණනක් දුරින් සිටියත් ලොව පුරා සිටින ශ්‍රී ලාංකිකයන් ආගමික වශයෙන්, ජනවාර්ගික වශයෙන් තම තමන්ට ආවේණික ආකාරයට චීනයට දැක්වූ සහයෝගය ඉතා අගය කරමි. මම පෞද්ගලිකවත් චීන ජනතාවත් මෙම ව්‍යවසනයට විරුද්ධව දැඩිව කටයුතු කරමු. ශ්‍රී ලංකාව පිළිබඳ මාගේ අදහස ‘ළබැඳි මිතුරෙක් ඕනෑම පරතරයක් සමීප කරවයි.’ යන ඉංග්‍රීසි කියමන සිහිගන්වයි. ශ්‍රී ලංකාවාසීන්ගේ සිනහව පිරි මුහුණ සෑම විටම මට උත්තේජනයක් බඳුය. මෙම ව්‍යසනය අතරතුර තානාපති කාර්යාලය මෙම සුන්දර දිවයිනෙන් ලද සෑම ආකාරයකම උපකාර සඳහා මම ඉතා කෘතඥ වෙමි. බොහෝ සිවිල් සංවිධාන අප දෙරටේ ජාතික ධජ ඔසවා ස්වේච්ඡාවෙන් දැක්වූ සහයෝගය ඉතා සුවිශේෂීය. පැය හයක ගමනකින් පසු අපගේ තානාපති කාර්යාලය අසලට පැමිණි වයෝවෘධ යුවළක් ‘කමෝන් චයිනා’ ලෙස පවසා සුබාශිංසන පිරිනැමුවෝය. දේවි බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන් 43ක් චීනයේ ජනාධිපති ආර්යාවට ලිපියක් ලියා සුබාශිංසන පළ කළෝය. ඔවුන් අනාගත චීන - ශ්‍රී ලංකා මිත්‍රත්වයේ පදනම යැයි මම විශ්වාස කරමි. අති පූජ්‍ය මල්වතු සහ අස්ගිරි මහනායක හිමිවරු, අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමි, ශ්‍රී පොන්නම්බලවානේස්වරන් කෝවිලේ සහ දවටගහ මුස්ලිම් දේවස්ථානයේ ආශීර්වාද සෑම මොහොතකම අප සතුව පැවතුණි. ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ චීනය වෙත එවූ සිලෝන් තේ අපගේ ශරීර මෙන්ම සිත්ද උණුසුම් කරන ලදී. අගමැතිවරයා පිරිත් සජ්ඣායනාවකින් චීන ජනතාවට ආශීර්වාදය පළ කළේය. මගේ හැඟීම් මෙම වචනවලට එහා යයි. එබැවින් සියලුම ශ්‍රී ලාංකිකයන්ට මෙලෙස ස්තුතිය පුද කරමි.    
 

More News..