brand logo

කෝවිඩ් සටනට ජලසම්පාදනේත් උර දෙයි

16 June 2021

COVID 19 වසංගතය හේතුවෙන් රජයේ රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය කරන සියලු උපාංගයන් සහිත වූ ඇඳන් 325 ක් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවක පරිත්‍යාගයෙන් ලබා දීම ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (ජුනි 16) ජල සම්පාදන මණ්ඩලයේ රත්මලාන පොල්වත්ත මධ්‍යම යන්ත්‍රාගාර පරිශ්‍රෙය්දී සිදු කෙරුණි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා,

මෙම වසංගත තත්වයේ අසිරු අවස්ථාවකට අප පැමිණ තිබෙනවා. මේ වන විට රටේ විශාල වශයෙන් රෝගීන් වැඩිවෙමින් තිබෙනවා. හැමදේකම අවශ්‍යතාවය දැන් වැඩියි. ආසාදිතයන්ගේ සංඛ්‍යාව වේගයෙන් වැඩිවෙමින් පවතිනවා. මෙහිදී රෝහල් වල ඉඩ අවකාශ වැඩි වැඩියෙන් අවශ්‍ය වෙමින් තිබෙනවා. ආයතන රෝහල් බවට හරවා ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත්කර තිබෙනවා. ඒ තැන්වලට ඊළඟට අවශ්‍ය වෙන්නේ ඖෂධ හා ඇඳන්.  ඒ සඳහා ඇඳන් 325 ක් සාදා දීමට ජල සම්පාදන මණ්ඩලයේ කාර්යය මණ්ඩල සේවක සහෝදරවරුන් හා නිලධාරීන්ගේ දිනක වැටුප පරිත්‍යාග කරමින් දායකත්වය ලබා දීම උතුම් ක්‍රියාවක්.

අද මුළු රටේ ජනතාව එක සිතින් මෙම අභියෝගයට මුහුණ දෙන වෙලාවක අවශ්‍යතාවයට උරදෙන්න ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් හා සේවක මහතුන් මේ මහා සත්කාරය සිදු කිරීම ජල සම්පාදන මණ්ඩලයට ලොකු ගෞරවයක්. රටේ තියෙන අවශ්‍යතාවය සඳහා ලබා දුන්නු විශාල දායකත්වයක් ලෙසද  ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මෙම වැඩසටහන අගය කරමින් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට ජල සම්පාදන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග, සමාන්‍යාධීකාරි තිළිණ එස්. විජේතුංග මහතා ඇතුලු උසස් නිළධාරීන් මෙන්ම මෙම වැඩසටහන වෙනුවෙන් මහත් ශ්‍රමයෙන් හා කැපවීමෙන් කටයුතු කල මධ්‍යම යන්ත්‍රාගාරයේ ප්‍රධාන ඉන්ජිනේරු ඇතුලු සේවක පිරිසද  එක්ව සිටියේය.  දර්ශාන් කානිල් - මොරටුව
 

More News..