brand logo

කෝවිඩ් නිසා පීඩාවට පත්වුවන්ට ලබා දෙන සහන වැඩපිළිවෙල ගැන රජයෙන් නිවේදනයක්

19 April 2020

රජය විසින් ක්‍රියාත්මක කරන සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ වැඩසටහන යටතේ වැඩිහිටි, ආබාධිත, සමෘද්ධි හා වකුගඩු ආදී දීමනාවන් ලබාදීම මේ වනවිට දිවයින පුරා ක්‍රියාත්මකව පවතී. එම වැඩසටහනේම දිගුවක් ලෙස කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් දෛනික ජීවනෝපාය අහිමි වූ ජනතාවටද සහන සැලසීමට රජය  පියවර ගෙන ඇත. මෙම සමාජ ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලබා එහෙත් මේ දක්වා ප්‍රතිලාභ හිමි නොවූ අයවළුන්ට අදාළ මුදල් ප්‍රතිලාභ ලබාදීම අප්‍රේල් 20 / 21 දෙදින තුළ දිවයින පුරා සිදු කිරීමට නියමිතය. ඒ  අනුව, හැකි සෑම අවස්ථාවකදීම අදාළ නිලධාරීන් විසින් ප්‍රතිලාභීන්ගේ නිවෙස්වලටම ගොස් අදාළ මුදල් ලබාදීමට කටයුතු කරනු ඇත. නමුත් යම් ප්‍රායෝගික තත්වයන් හේතුවෙන් අදාළ ගෙවීම් සිදු කිරීම සඳහා ප්‍රදේශයේ පොදු ස්ථාන හෝ කාර්යාල යොදා ගන්නේ නම් ඒ සියලු අවස්ථාවන්හිදී කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමට ලබාදී ඇති සියලු සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කටයුතු කළ යුතු බව රජය අදාළ සියලු පාර්ශ්වයන්ට දැනුම් දෙයි. එනම්, එම ස්ථානයන්හි ජනතාව එක්රැස් නොවීමට සහ සෑම අවස්ථාවකදීම පුද්ගල දුරස්ථභාවය පවත්වාගැනීමට කටයුතු කළයුතුය. ඒ අනුව පොදු ස්ථානයන්ට ජනතාව කැඳවන්නේ නම් කුඩා කණ්ඩායම් සඳහා වෙන් වෙන් වූ නිශ්චිත වේලාවන් ලබාදී කැඳවීම වැනි යම් සංවිධානාත්මක ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙස  රජය අදාළ සියලු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින අතර, එම ලබාදෙන උපදෙස් වලට අනුගතව කටයුතු කරන ලෙස  අදාළ ප්‍රතිලාභ අපේක්ෂිත මහජනතාවගෙන් රජය ඉල්ලා සිටී. එසේම,කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමි වී සහන ලැබිය යුතු සියලුම කණ්ඩායම් වලට අදාළ ප්‍රතිලාභ හිමිකරදීම රජයේ අරමුණයි. ඒ අනුව, දැනට ප්‍රතිලාභ වලට හිමිකම් ලැබිය යුතුයැයි හඳුනාගෙන ඇති කණ්ඩායම් වලට අමතරව එම සහනය තවදුරටත් ලැබිය යුතු යැයි රජය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් 20 හා 21 දෙදින තුළ හඳුනාගන්නා ජීවනෝපාය අහිමි වී සිටින අනෙකුත් කණ්ඩායම් සඳහාද අප්‍රේල් මස 22 දින වනවිට ප්‍රතිලාභ ලබාදීමට අපේක්ෂිතය. එසේම අප්‍රේල් 20 හා 21 යන දෙදින තුළ සහනාධාර ලබාදීමෙන් පසු, තවදුරටත් සහනාධාර ලැබිය යුතුයැයි අභියාචනා ඉදිරිපත් කර ඇති අයවලුන්ටද සුදුසුකම් සපුරන්නේ නම් අප්‍රේල් 22 දින එම දීමනා ගෙවීමට කටයුතු කරනු ඇත. එහෙයින් අනවශ්‍ය කලබල වීමකින් තොරව සහ පීඩනයකට පත්වීමකින් තොරව, සෑම විටම සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් අදාළ නිලධාරීන් සමග සහයෝගයෙන් මෙම ප්‍රතිලාභ ලබාගැනීමට කටයුතු කරනලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
 

More News..