brand logo

'කෝප් 'හමුවට මාර්ග සංවර්ධන අධිකාරිය කැඳවයි

16 October 2020

  විගණකාධිපති වාර්තාව මගින් අනාවරණය කර ඇති කරුණු පිළිබඳ විමසීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවා ඇත. මධ්‍යම අධිවේගී මාර්ගයේ ශක්‍යතා අධ්‍යයන සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ විශේෂ විගණන වාර්තාව මගින් විගණකාධිපතිවරයා සිදු කර ඇති අනාවරණයන් පිළිබඳ කෝප් කමිටුව මෙහිදී නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය. එදින සිට 23 වැනිදා දක්වා අඛණ්ඩව දින හතරක් කෝප් කමිටුව පාර්ලිමේන්තුවේදී රැස්වන බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් සඳහන් කළේය. ඒ අනූව, කැලණි ගඟේ ජලය අපවිත්‍ර වීම සම්බන්ධව සිදුකළ පාරිසරික විගණන වාර්තාව පිළිබඳ කරුණු විමසීම සඳහා ජල සම්පාදන මණ්ඩලය ,ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය සහ අදාළ පළාත් පාලන ආයතන 21 වැනිදා කෝප් කමිටුව වෙත කැඳවා තිබේ. ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ගබඩා කිරීම සහ බෙදා හැරීම පිළිබඳව සිදු කළ විශේෂ ව්‍යාපෘතියේ වාර්තාව සාකච්ඡාවට ලක් කිරීම සඳහා 22 වැනිදා ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව කෝප් කමිටුව හමුවට කැඳවා ඇතැයිද මහාචාර්ය චරිත හේරත් පැවසීය . 23 වැනිදා පොල් සංවර්ධන අධිකාරිය කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ. එම අධිකාරිය සහ පොල් වගා කිරීමේ මණ්ඩලයද, පොල් පර්‌යේෂණ ආයතනය ද එදින කෝප් කමිටුව හමුවට කැඳවා ඇත. අජිත් අලහකෝන්
 

More News..