brand logo

කෝටි 70ක හොර බඩු රේගුව කටුනායකින් අල්ලලා

03 January 2020

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් ඉකුත් වසරේ (2019) කරන ලද වැටලීම් වලදී අත්අඩංගුවට ගෙන රාජසන්තක කරන ලද භාණ්ඩවල වටිනාකම රුපියල් කෝටි 70 කට අධික බව රේගුව සඳහන් කරයි. නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රත්තරන්, මත්ද්‍රව්‍ය, මැණික්, දුම්වැටි, විදෙස් මුදල් සහ ජෛව විවිධත්ව දෑ ආදිය රේගුව විසින් රාජසන්තක කර ඇත. ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් කරන ලද වැටලීම් 204 කදී මෙම භාණ්ඩ රාජසන්තක කර තිබේ. මෙම වැටලීම් අතරින් රේගුවට ලද තොරතුරු අනුව කරන ලද වැටලීම් සංඛ්‍යාව 98 කි. නීති විරෝධී දෑ මෙරටට රැගෙන ආ පුද්ගලයන්ගෙන් දඩ වශයෙන් අයකරගෙන ඇති මුදල රුපියල් තුන්කෝටි දහනව ලක්ෂ හැත්තෑහත් දහස් පන්සියයකි. (31,977,500.00) රාජසන්තක කරන ලද භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් හැත්තෑ කෝටි එකොළොස් ලක්ෂ අනූහය දහස් හත්සිය විසිඅටකි. (701,196,728.00) නීති විරෝධී ලෙස මෙරටට ගුවන් මගින් රැගෙන ආ රත්තරන් කිලෝ 70.4ක් කටුනායක ගුවන් තොටුපොළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. නීති විරෝධී ලෙස රත්තරන් මෙරටට රැගෙන ආ වැටලීම් 50 ක් රේගුව සිදුකර ඇති අතර, දඩ වශයෙන් අයකරගෙන ඇති මුදල රුපියල් දෙකෝටි හැත්තෑ දෙලක්ෂ හැට දහසකි. (27,260,000.00). රාජසන්තක කරන ලද රත්තරන් තොගයේ වටිනාකම රුපියල් හතළිස්හය කෝටි දාහත් ලක්ෂ විසිඑක්දහස් පන්සිය අසූහයකි. (461,721,586.00). කටුනායක ගුවන් තොටුපොළ රේගුව විසින් කරන ලද මත්ද්‍රව්‍ය වැටලීම් ගණන 11 කි. එහිදී, මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 14 ක් අත්අඩංගුවට ගෙන ඇත. රාජසන්තක කරන ලද මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් පන්කෝටි තිස්හත් ලක්ෂ අසූපන්දහස් අටසිය විස්සකි. (53,785,820.00). ගුවන් තොටුපොළ රේගුව මගින් කොකේන් කිලෝ පහක්, මෙතපිටමින් කිලෝ 5.2 ක්, ගංජා කිලෝ 3.8 ක් අත්අඩංගුවට ගෙන ඇත. මැණික් මෙරටට රැගෙන ආ අවස්ථා හතරක් වටලා ඇති අතර, රාජසන්තක කරන ලද මැණික්වල වටිනාකම රුපියල් හැත්තෑ දෙලක්ෂ අනූඑක් දහස් හාරසිය අසූවකි. (7,291,480.00). විදෙස් දුම්වැටි මෙරටට රැගෙන ආ අවස්ථා 50 ක් කටුනායක ගුවන් තොටුපොළ රේගුව විසින් වටලා ඇත. රේගුවට නොදන්වා විදෙස් මුදල් ළඟ තබා ගැනීමේ සිද්ධීන් 16 ක් වටලා තිබේ. රාජසන්තක කරන ලද විදෙස් මුදල් තොගයේ වටිනාකම රුපියල් හයකෝටි අනූ දෙලක්ෂ අසූනව දහස් දාහතරකි. (69,289,014.00). ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් කරන ලද ජෛව විවිධත්ව සම්පත් ළඟ තබා ගැනීම සම්බන්ධ වැටලීම් සංඛ්‍යාව 17 කි. සාලිය කුමාර ගුණසේකර
 

More News..