brand logo

කෝටි 500කටත් වැඩි වියදමක් කර ලංකාවට පාපන්දු උණ හදන ‘ෆේස්බුක්’

14 August 2018

ලෝක කුසලාන පාපන්දු උණුසම මැකී යන්නට වූයේ නැත. මෙම සිකුරදා දිනයෙන් (17වැනිදා) ඇරැඹී, තවත් පාපන්දු රැල්ලක් ශ‍්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපය හරහා හමා යෑමට කටයුතු සියල්ල සූදානම්ය. ඒ ස්පාඤ්ඤ ‘ලා ලිගා’ පාපන්දු තරගාවලිය හෙවත් ලොව වැඩිම අවධානයට ලක්වන ක‍්‍රීඩා සමාජ පාපන්දු ලීගයේ පහරින් පහර ගෝලයෙන් ගෝලය සජීවීව නැරඹීමේ අවස්ථාව ශ‍්‍රී ලංකාව ඇතුළු කලාපයට හිමිවීමයි. ලොව ප‍්‍රමුඛතම ක‍්‍රීඩකයන් සියලූදෙනාම පාහේ ඩොලර් වලින් කියැවෙන ‘දහසින් බැඳි පියලි’ පිරිනැමෙන ගිවිසුම්වලින් ඒ ඒ ක‍්‍රීඩා සමාජ සමග බැඳෙමින් තරගකරන මෙය ලොව පුරා විහිදී විසිරී පවතින් පාපන්දු ලෝලීන් ඒකාත්මික කරන තවත් ඉවසව්වකි. එවන් ඉසව්වක විකාශන අයිතිය ලබාගැනීම යනු සුළුපටු කරුණක් නොවේ. එවැනි විකාශන අයිතියක් ලබාගැනීම පිණිස ගෙවිය යුතු මුදල රුපියල් වලින් ගතහොත් කෝටි සිය ගණනකි. ඒ අයුරින් දැවැන්ත මුදල් සම්භාරයක් ගෙවා මෙහි විකාශන අයිතිය ගෙන එය අප වෙසෙන දකුණු ආසියානු කලාපයේ විසුරුවාහැරීම පිණිස කටයුතු කරන්නේ කව්රුන්ද? ක‍්‍රීඩා විකාශන අයිතිය ගැන කථා කිරීමේදී අපගේ මතකයට එන ටාජ් ටීවී, ESPN , නිම්බස් ආදී සුප‍්‍රසිද්ධ නම් අතර නැතත්, ඒ අප කව්රුත් නම කියූ පමණින් හඳුනන්නකි. වෙනකක් නොවේ. මේ ෆේස්බුක් ය. ස්පාඤ්ඤ ලා ලිගා පාපන්දු ලීගයේ ඉදිරි තරගවාර 3කට අයත් තරග 380ක් ෆේස්බුක් භාවිතා කරන ඔබ වෙනුවෙන් රැගෙන ඒම උදෙසා ඩොලර් මිලියන ගණනක ගිවිසුමකින් එම විකාශන අයිතිය තමන් සතුකරගැනීමට ‘ෆේස්බුක් ’ කටයුතු කර තිබේ. එහි වටිනාකම කොතෙක්දැයි මෙතෙක් හරියටම හෙළිවී නැත. නමුත් ඉකුත් තරගවාර 3 සඳහා එම විකාශන අයිතිය හිමිකරගැනීම වෙනුවෙන් ‘සෝනි පික්චර්ස් නෙට්වර්ක් ’ විසින් 2014 වසරේදී ඒ සඳහා වැය කළ ඩොලර් මිලියන 32ක් හෙවත් රුපියල් කෝටි 512ක මුදල සමග සැසඳීමේදී මෙවර එම වටිනාකම එයට වඩා වැඩි බව නම් සහතිකය. මෙසේ ක‍්‍රීඩා විකාශන අයිතීන් ලබාගැනීම ‘ෆෙස්බුක් ’ හට නුහුරු දෙයක් නොවේ. ඔවුන් ඇමරිකානු කලාපයේ තම සාමාජිකයන් වෙනුවෙන් එහි ප‍්‍රමුඛ බේස්බෝල් ලීගයේ තරග විකාශය කිරීම සඳහා එක් තරගයක ඩොලර් මිලියනය බැගින් මිලට ගනියි. ෆේස්බුක් පරිනත වෙමින් තිබේ. මිතුරු ඇසුර, මිතුරු සමාජ ආකෘතියෙන් මිදී අලූත් අලූත් දෑ හරහා සිය සාමාජිකයන් තව තවත් ග‍්‍රහණය කරමින් සිටියි. ක‍්‍රීඩා විකාශන අයිතිය අලූත් මානයක් වෙත ගෙන යමින් සිටියි.
 

More News..