brand logo

කෝටි පහක රන් වී ඇට මල්ල යකඩ බෝල වෙයි

25 August 2020

දැන් සෑම පුවත්පතකම පාහේ පාතාල ලෝකය ගැන සඳහන් වූ විශේෂාංග ලිපි ලියවේ. නමුත්, ත්‍රාසය භීතිය පිරි පාතාල ලෝකයේ කතා සිංහල පුවත්පත් කලාවට හඳුන්වා දුන්නේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වන අනුර හොරේෂස් ය. ඩීමන් ආනන්ද මාරක කතා චක්‍රවර්ති වූ සේද අනුර හොරේෂස් පාතාල කතා චක්‍රවර්ති විය. පාතාල ලෝකය ගැන ඔහු හෙළි කළ තොරතුරු ‘‘ගිනි අවි සහ ගිනි කෙළි” නමින් කෘතියකටද රචනා විය. එම කෘතිය ඇසුරින් චිත්‍රපටයක් ද, ටෙලි නාට්‍යයක් ද බිහිවිය. වසර ගණනාවක සිට ඔස්ට්‍රේලියාවේ ජීවත්වන අනුර හොරේෂස් දිගු කලකට පසු සිය නිහඬතාව බිඳ දමමින් ‘‘සති අග අරුණින්” ඔබ හමුවට මෙසේ පැමිණේ. ගැනුම්කරුවාගේ හිසේ මල් හතක් නොව, මල් වට්ටියක්ම පිපේ. ඒ මල්ලෙන් රැගෙන විත් පරීක්ෂා කරන්නට දුන් රන් වී ඇට පහෙන් තුනක්ම කපා බලන කළ ඒවා සැබෑම රත්තරන් බවට හඳුනා ගන්නට හැකි වූ බැවිණි. සිය ගනුදෙනුකාර භවතා රැගෙන සුදාගේ ගෝලයෝ පෙරළා ප්‍රාඩෝ රථය වෙත පැමිණෙන්නේ කෙස් ගහක් තරමටවත් වැරැද්දක් හෝ අතපසු වීමක් නොවී පළමු ‘මාරක පිම්ම’ පැන ගන්නට හැකි වීමේ චිත්ත ප්‍රීතියෙනි. ප්‍රාඩෝවට ඇතුළු වූ වහාම ගෝලයෙක් ගැනුම්කරුවා අමතයි. “සර්..තව කොහාටද යන්ඩ ඕනේ.. සර්ට චෙක් කරන්ඩ තවත් තැනකට යන්ඩ ඕනේනං ‘නෝ ප්‍රොබ්ලම්’ සර්..අපි යමු.. හැබැයි සර් කරන දෙයක් ඉක්මනට කරමු. දන්නවනේ.. පොලිසියට අහු වුණොත් සර්ටත් කන්ඩ වෙන්නේ පරිප්පු තමයි..” සුදාගේ ගෝලයාගේ අනතුරු ඇඟවීම ගැනුම්කරුවාට දහවලේ වුවත් තරු පෙනෙන කාරණාවකි. එහෙත් තවත් තැනකින් මෙම රන් වී ඇට කීපයක් තවදුරටත් පරීක්ෂා කර ගැනීම මැනවයි ඔහුට හැඟේ. එවිට වැඩේ ටක්කෙටම ‘සුද්ද’ය. “එහෙනං අපි යමු මල්ලි මීගමුවේ රාජා (ව්‍යාජ නාමයකි) ජුවලරි එකටත්.. ඊට පස්සේ වැඩේ කම්මුතු කරමු.” “හරි..සර්..යමු. හැබැයි සර්.. දැන් රන්මලී එකේදී වී ඇට තුනක් කැපුවා. දඹ රත්තරන්නේ.. ඒත් ඒවා දැන් විකුණන්න බෑනේ. ඒ වී ඇට තුනට සර්.. එකයි විසිපහක්වත් (එක්ලක්ෂ විසිපන් දහසක්) ඕනේ..” මෙම යෝජනාව ඉදිරියේ ගොළු වී සිටින්නට ගැනුම්කරුවාට නොහැකිය. තව ස්වල්ප මොහොතකින් කෝටි පනහටත් වඩා වටිනා රන් වී ඇට මල්ලකට හිමිකම් කියන්නට අවස්ථාවක් ලැබී තිබෙන මොහොතක රුපියල් එක්ලක්ෂ විසිපන් දහසක් වැනි ‘කජ්ජක්’ ඉදිරියේ බැගෑපත් වන්නට ගැනුම්කරුවා සතුටු නැත. වහාම එම මුදල තරුණයා අතට පත් කිරීමත් සමග ප්‍රාඩෝව මීගමුව දක්වා ගමන් ආරම්භ කරයි. ගැනුම්කරුවා රැගෙන තමන් මීළඟට මීගමුවේ ‘රාජා’ ස්වර්ණාභරණහල වෙත පැමිණෙන බවට කෙරෙන දැනුම්දීම අනුව පෙර ආකාරයටම සියල්ල සිදුවන්නේ අබමල් රේනුවක තරමින්වත් එහාමෙහා වීමක් සිදු නොවන ආකාරයෙනි. එතැනදීත් කපන වී ඇට තුනට තවත් රුපියල් එක්ලක්ෂ විසිපන් දහසක් ලබා ගන්නා සුදාගේ ගෝලයෝ ගැනුම්කරුවා ද සමග ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණේ. මෙම ස්ථාන ‘මරංචි ගේම්’කාරයින්ගේ ආරක්ෂිත පොළවල් ය. එතැන දී කිලෝ දෙකක් බරැති රන් වී ඇට මල්ල ගැනුම්කරුවා අතට පත් කෙරේ. ඔහු රැගෙන ආ රුපියල් කෝටි පහක සල්ලි මල්ල සුදාගේ ගෝලයා භාර ගනී. මෙම මුදල ගණන් කිරීම වහාම ආරම්භ වෙයි. ඒ සමග රුපියල් පන්දහසේ නෝට්ටු තොගය සැබෑ නෝට්ටුම දැයි යන්න තහවුරු කර ගන්නට කීප දෙනෙක් පන්දහසේ නෝට්ටු රැගෙන නගරය බලා යති. කෝටි පහේ සල්ලි මල්ල සැබෑම නෝට්ටු බවට සියයට සියයක් ස්ථිර කර ගන්නා තෙක් ගැනුම්කරුවාට ප්‍රාඩෝවෙන් පිටතට බසින්නට තහනම්ය. මෙම ගනුදෙනුවේ අවසන් තත්පරය දක්වා සුදාගේ ගෝලයෝ විසිපස් දෙනෙකුට අධික සංඛ්‍යාවක් නගරය පුරා ආරක්ෂක වළල්ලක් බැඳ සිටිති. පොලිස් ජීප් රථ හෝ පොලිසිය යැයි සැක කළ හැකි ‘මැස්සෙක්’ හෝ සිය ආරක්ෂිත ස්ථානය කරා යොමු වන්නේදැයි ඔවුන්ගේ උකුසු ඇස් පරීක්ෂාවෙන් පසුවෙයි. බොහෝ දෙනෙකු අත ගිනිඅවිය. ඕනෑම අවදානම් අවස්ථාවකට මුහුණ දෙන්නට මොවුන් සූදානම්ය. සියල්ල නිවැරැදිය. අනතුරුව එළැඹෙන්නේ සමුගැනීමේ අවස්ථාවයි. ගැනුම්කරුවා ඒ වනවිට රුපියල් කෝටි පනහකට වඩා වටිනා රන් වී ඇට මල්ලක හිමිකරුය. සුදාගේ ගෝල‌යෝ රුපියල් කෝටි පහක් දිනූ වාසනාවන්තයෝය. ගැනුම්කරුවා රන් වී ඇට මල්ල ගෙන සිය මිතුරා ද සමග මෝටර් රථයේ නැගී නික්ම යද්දී සුදාගේ ගෝලයෝ රැගත් ප්‍රාඩෝව සහ වෑන් රථය එසැණින් සෙසු වාහන අතරට වැදී දෙදිශාවකට අතුරුදන් වෙයි. ඉන් අනතුරුව එළැඹෙන්නේ සුදාගේ ‘රජ මගුලයි.’ සිය කණ්ඩායම ඉතා සාර්ථක ලෙසින් රුපියල් කෝටි පහේ ජය මල්ලට හිමිකම් කියා ඇති බව මිනිත්තු කීපයක දී සුදාට අසන්නට ලැබේ. මෙම කෝටි පහෙන් රුපියල් ලක්ෂ පනහක් ඒ මොහොතේම වෙන් කරනු ලබන්නේ හෙරොයින් මිල දී ගැනීම වෙනුවෙනි. නගරයේ කුඩු ගහන සියලු දෙනාට එදින හෙරොයින් සපයනු ලබන්නේ නොමිලයේය. ඒ වගේම සුදා නේවාසිකව පසුවන සිරගෙදර කුඩු ගහන සියලුම රිමාණ්ඩ් සහ අච්චු සිරකරුවන්ටත් මෙදින නොමිලයේ හෙරොයින් සපයනු ලැබේ. මෙම හෙරොයින් බන්ධනාගාරය තුළට රැගෙන යාම සිදුකරන නිලධාරීන්ට ද මුදලින් ත්‍යාග පිරිනැමේ. නගරයේ කුඩු ගහන එවුන්ට නොමිලයේ කුඩු ලබා දීම හේතුවෙන් ඔවුන්ගේ සහාය නිරතුරුව ‘මරංචි ගේම’ සඳහා හිමිවන බව සුදා දනී. ඒ වගේම සිරගෙදර ජීවිතය විනෝදයෙන් සහ සැහැල්ලුවෙන් ගත කරන්නට සුදාට කුඩු ගහන සිරකරුවන්ගෙන් ලැබෙන්නේ නොමඳ සහයකි. ඔහුගේ අතපය මිරිකන්නට, වැසිකිළියට වතුර බාල්දිය රැගෙන යන්නට, දිය නාවන්නට ඇතැම් සිරකරුවෝ පැමිණෙන්නේ පෝලිමේය. ඒ වගේම සුදා ‘මරංචි ගේමක්’ ගසා තිබීම සමහර නිලධාරීන්ගේ ද සතුටට හේතුවකි. මන්ද ඔවුන්ට ද ජයපැන් බීමේ වාසනාව හිමිවන බැවිණි. කිලෝ දෙකක් බරැති රන් වී ඇට මල්ල රැගෙන සිය ගම්බිම් බලා පැමිණි ධනවත් ගැනුම්කරුවාට පැය විසි හතරක් ඉක්ම යන්නට මත්තෙන් තමන් රැවටී තිබෙන ප්‍රමාණයේ බරපතළකම ‘ටොන්’ ගණනින් තේරුම් ගන්නට හැකි වේ. මුළු මල්ලම පිරී ඇත්තේ රන් වැනි ආලේපයක් තැවරූ යකඩ වී ඇටවලින්ය. එම වී ඇට මල්ලට අත දමා දෙවරක් තමන් විසින්ම අතට ගත් වී ඇට කපා බැලූ විට ඒවා තනි රත්තරන් වීමත්, නිවසට පැමිණ බලන විට මල්ලේ තිබූ රන් වී ඇට යකඩ වී ඇට බවට හැරී තිබීමත් කවර නම් කරුම දෝෂයක් පළ දීමෙන් සිදු වූවාක්දැයි මෙම ‘ගැටයට’ අසුවූ ගැනුම්කරුවන්ට ‘අරුණේ’ අද පළවන මෙම ලිපිය කියවන තුරු තේරුම්ගත නොහැකි බව සිකුරුය. ඒ තරමටම මෙම ගනුදෙනුව ‘ටක්කෙටම’ සිදු වන්නේය. කෙසේ වෙතත් ජාවාරම්කාරයින් රැලකට අසු වී රුපියල් කෝටි පහක් අහිමි වූ බවට පොලිසියට පැමිණිල්ලක් කරන්නට හෙතෙම මැළි වේ. මන්ද නීති විරෝධී ජාවාරමකට අයත් ද්‍රව්‍යයක් මිල දී ගන්නට ඉදිරිපත් වීම ද බලපතළ වරදක් බව හෙතෙම දන්නා බැවින්ය. මෙම සිද්ධිය පොලිස් පොත්පත්වල ලියැවුණහොත් එයින් තමන්ගේ දරු පවුලට හා සිය කීර්ති නාමයට බලවත් කැළලක් සිදුවන බවත් පෙනී යයි. ඉන් නොනැවතී සමහර විට තමන්ට ද සිරගෙදර උළු ගණින්නට වේදෝයි වැනි බියක් හට ගැනීම හේතුවෙන් පොලිස් මිදුලක පස් පාගන්නවත් ගැනුම්කරුවා යන්නේ නැත. කෙසේ වෙතත් මෙම ජාවාරමට තමන් සම්බන්ධ කරගත් පුද්ගලයාගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබා ගත්ත ද ඒ වනවිටත් අදාළ සිම්පත බන්ධනාගාර වැසිකිළියේ මළ නළ පද්ධතිය අතරට වැදී අතුරුදන් වී තිබෙන බව ගනුදෙනුකරුවා නොදනී. සිදු වූ අලාභය පිළිබඳ හූල්ලමින් එය අමතක කර දමන්නට ඇතමුන් අතට ගන්නේ විස්කි බෝතලයකි. එක්තරා ක්ෂේත්‍රයකට සම්බන්ධ දෙස් විදෙස් ඉතාමත්ම ප්‍රකට පුද්ගලයෙක් වෙයි. මෙම පුද්ගලයා සිය ක්ෂේත්‍රය තුළින්ම ධන කුවේරයෙක් බවට පත් වූ අයෙකි. ශ්‍රී ලංකාවේ පමණක් නොව, ලොව සුපිරි රටවල බැංකුවල ඔහුගේ ඥාතීන්ගේ නම්වලින් තිබෙන ගිණුම් ඩොලර්වලින් පිරී ගොස් තිබෙන බව දන්නෝ දනිති. එබඳු සුපිරි රටවල සුපිරි නිවාස ද මෙම පුද්ගලයා සතු යැයි ප්‍රකටය. මොන තරම් ධනය තිබුණත් ‘මොළේ අඩු’ මෙම සුපිරි කෝටිපතියා සුදාගේ ‘මරංචි ගේම’ට වරක් නොව, දෙවරක්ම අසු වූයේය. ඒ දෙවරම තමන්ට රුපියල් කෝටි පහක් බැගින් මෙම පුද්ගලයා ලබා දී යකඩ මල්ල රැගෙන ගමේ ගිය බව සුදා, තමන් දන්නා හඳුනන බන්ධනාගාර නිලධාරින් හමුවේ පවසා ඇත්තේ බිම පෙරළි, පෙරළී සිනහසෙමින්ය. “ධන තන්හාව මොන තරම් දෑස් අන්ධ කරයි ද..?” යනුවෙන් මට සිතුනි. කෙසේ වෙතත් මෙවැනි දෙස් විදෙස් ප්‍රකට පුද්ගලයන්ට රන් වී ඇට කිලෝ ගණනින් අවශ්‍ය වන්නේ කුමක් සඳහා දැයි මාගේ තොරතුරු ජාලයෙන් මම විමසා සිටියෙමි. එහිදී දැන ගන්නට ලැබුණේ තවත් ජාවාරමක් පිළිබඳ තොරතුරු රැසකි. ජේත්තුවට හැඳ අතේ රතු, සුදු පැහැති දේව හා පිරිත්නූල් රෑනක් ගැටගසා ගෙන සිටින මොවුන් තරම් කම්බා හොරු නඩයක් රටේ තවත් සිටීදැයි සැක සහිතය. අපි පාතාලයන්ව දනිමු. උන්ගේ කියුම් කෙරුම් ද දනිමු. ඒවා රට්ටුන්ට ද රහසක් නොවේ. එහෙත් රට වැසියන් ඉදිරියේ මහා දානපතියන් සහ සිල්වතුන් වශයෙන් ගාම්භීර ආකාරයට පෙනී සිටින සමහරු සිදුකරන ජාවාරම් අදටත් රටට රහසකි. මේවා දන්නා උදවියද වෙති. එහෙත් ඔවුන් නිහඬ කරවා තබන්නට මෙම පුද්ගලයන් සතුව පවතින දේශපාලන, පොලිස් හා අනෙකුත් ප්‍රධාන රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සම්බන්ධතා අති ප්‍රබල මට්ටමක පවතී. ශ්‍රී ලංකාවේ නිධානවල ඇතැයි කියන රන් වී ඇට මිලෙන් ඉතා අධික යැයි විශ්වාසයක් පවතී. මන්ද ඒවා සෙසු රත්තරන්වලට වඩා තත්ත්වයෙන් ඉහළ පමණක් නොව, පෞරාණික වටිනාකමින් ද ඉතා ඉහළ අගයක් ගන්නා බැවින් යැයි පැවසේ. මෙම රන් වී ඇට සඳහා ජාත්‍යන්තරයේ පවතින්නේ ඉහළම ඉල්ලුමකි. මිල කීයක් වුවත් එම වී ඇට මිල දී ගන්නට ජාත්‍යන්තර රන් වෙළෙඳාම් ජාලය නිරන්තර සෝදිසියෙන් පසුවෙයි. නිධන් වස්තු ගොඩ දැමීම කෙරෙහි මෙරටේ සමහර ප්‍රභූන් අවධානයෙන් පසුවන්නේ එබැවිණි. සැබෑ රන් වී ඇට ඇතුළු තවත් නිධන් වස්තු විදේශවලට මෙරටින් පන්නා ගෙන යාම මොවුන්ට එතරම් අපහසු නැත. රුපියල් කෝටි පහකට සැබෑ රන් වී ඇට කිලෝ දෙකක් මිල දී ගත්තේ නම් එම වී ඇට තොගයට එතෙර දී රුපියල් කෝටි පනහකට අධික මුදලක් ඉපැයීමට හැකි බව මොවුන් දනිති. අප ඉහත සඳහන් කළ ආකාරයේ ඇතැම් කීර්තිමත් පුද්ගලයන් ගුවන්තොටින් ගුවන් යානා වෙත ගමන් කරනුයේ සාමාන්‍ය ආගමන විගමන කපොලු හා මගී පර්යන්ත හරහා නොවේ. එය බොහෝ දෙනා දන්නා කාරණාවකි. සමහරු විශේෂිත පුද්ගලයන් වශයෙන් සැලකේ. ඔවුහු විදේශ ගත වන විටත් මුද්‍රිත හා විද්‍යුත් ජනමාධ්‍යවේදීහු ඔවුන් වටකර ගන්නේ මීමැසි රැලක් මෙනි. ඒ තරමට මොවුන්ගේ විදෙස් ගත වීම රටට ප්‍රවෘත්තියකි. මොවුන්ට තිබෙන විශේෂ රාජ්‍ය හා සමාජීය තත්ත්වයන් අනුව ඔවුන් විශේෂිත පුද්ගලයන් සේ සලකා වෙනත් දොරටු හරහා ගුවන් යානාවලට පිවිසෙන්නට අවස්ථාව හිමිකර දී තිබීම නිධන් වස්තු රටින් පැන්න වීමට විශාල රුකුළක් වී තිබේ. ශ්‍රී ලංකාවේ නිධන් වස්තු හෝ රටින් පිට කිරීමට තහනම් තවත් වටිනා ද්‍රව්‍ය රැගත් සමහරුන්ගේ ගමන් මලු බොහෝ අවස්ථාවල දී ප්‍රමාණවත් පරීක්ෂාවකට ලක් නොවී ගුවන් යානා වෙත යොමු කෙරේ. අනතුරුව එම ගමන් මලු නිරුපද්‍රිතව ගමනාන්තය දැක්වෙන ගුවන් තොටුපොළ දක්වා පියාසර කෙරෙන්නේ රහස් රැසක් මෙන්ම වටිනා දේශීය පෞරාණික වස්තූන් රාශියක් ද සඟවා ගෙනය. වළගම්බා රජුගේ ඔටුන්න සොයා කිරිවැල්බද්ද රක්ෂිතයේ නිධන් හෑරූ කාන්තාවක් සහ පිරිමින් තිදෙනෙක් නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ ඉකුත් මැයි 28 වැනිදාය. එලෙසින් නිධානයකින් ගන්නා ලදැයි කියන රත්තරන් කිලෝ සියයක් රුපියල් කෝටි හැත්තෑ පහකට අලෙවි කරන බව පවසා ව්‍යාපාරිකයකුගෙන් මුදල් කොල්ලකෑමට තැත් කළ පාරම්පරික සිංහල වෙද මහතෙකු ඇතුළු තිදෙනෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් බත්තරමුල්ලේ දී ඉකුත් මැයි 29 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ. බැකෝවක් යොදාගෙන වෛරන්කට්ටුවේ නිධානයක් හාරමින් සිටි වත්තල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රිවරයෙක් ඇතුළු තවත් සැකකරුවන් දහ දෙනෙක් උපකරණ තොගයක් ද සමග ආරච්චිකට්ටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ ජූලි 09 වැනිදාය. ඒ වගේම වළගම්ම්බා රජුගේ මැණික් මංජුසාව සහිත නිධානය ගොඩ ගන්නට කැණීම් සිදුකරමින් සිටි තිදෙනෙක් කෑගල්ල දූෂණ මර්දන ඒකකය විසින් යට්ටෝගොඩ දී ඉකුත් ජූලි 08 වැනිදා අත්අඩංගුවට ගත්තේය. ‘මරංචි ගේම’ සහ නිධන් කොල්ලය රටේ යටිතලය හරහා මොන තරම් සූක්ෂම සහ ශීඝ්‍ර ආකාරයට ක්‍රියාත්මක වන්නේදැයි මෙම කරුණු අනුව කල්පනා කර බැලිය හැක.
 

More News..