brand logo

කෝටි දෙකහමාරේ වාසනාවන්තයා හිරේ යයි

02 March 2020

අපි ඔහු පියසේන යන නමින් හඳුන්වමු. එදා වේල සරි කරගන්නට මගක් සොයමින් සිටි පියසේනට මහනුවර, මහ නගර සභාවේ කම්කරු රස්සාව ලැබුණේ බොහෝ කලකට ඉහතදීය. දියණියන් දෙදෙනකුගේ පියකු වන පියසේනට ජීවිතයේ තිබූ ලොකුම අරමුණ වූයේ දරුවන්ගේ ඇස් පෑදීමය. කම්කරු රස්සාවෙන් ලද මුදල හැරෙන්නට හතර මහා නිධානයක් පහළ නොවන බව දැනගෙන සිටි පියසේන ලද සොච්චම් වැටුපින් දරු පවුල නඩත්තු කළේය. කාටවත් කරදරයක් නැතිව තමන්ගේ පාඩුවේ ජීවත් වූ පියසේනගේ ජීවිතය කණපිට පෙරළුවේ ලොතරැයියකිනි. දිනපතා ලොතරැයිපතක් මිලදී ගැනීම ඔහුගේ පුරුද්දකි. පියසේනට ඉන් බොහෝ දිනවල එක රුපියලක් හෝ ඇදුනේ නම් නැත. එහෙත් ඔහු තම උත්සාහය අත හැරියේ නැත. තියෙන තුට්ටුවෙනුත් ස්විප් අරන් සල්ලි කාබාසිනියා කරනවා යැයි ඔහුගේ බිරිඳද දිනපතාම පුරුද්දක් ලෙස පියසේනට දොස් පරොස් නැගුවත් ඔහු ටිකට් ගැනීම අත හැරියේ නැත. පියසේනගේ ජීවිතය වෙනස් වන දිනය උදාවූයේ මීට දෙසතියකට පෙර දිනයක රාත්‍රියේය. ‘‘අදනම් ටිකට් එකට දිනුමක්’’තියේද මන්ද රුපියල් දාහක් වුණත් කමක් නෑ.’’ පියසේන හීන මව මව සිටියේ රුපියල් දාහක දිනුමට වුවද ඔහු​ගේ වාසනාව රුපියල් දහසකින් නම් නතර වුණේ නැත. ලොතරැයි අංක සියල්ලම ඇදෙන විට පියසේනගේ හද දඩි බිඩි ගා ගැහෙන්නට ගත්තේය. ‘‘දෙකෝටි පනස් ලක්ෂයක’’ ලොතරැයි දිනුම ඇදී ඇත්තේ පියසේන අතේ ඇති ලොතරැයියටය. කම්කරුවකු වූ පියසේන දැන් ලංකාවේ කෝටිපතියෙකි. ‘‘ඔය සල්ලි හරි පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන. වින්ද දුක මතකනෙ. බාල් නටලා හරියන්නෙ නෑ. ගේ ඇතුළෙ කෙල්ලො දෙන්නෙක් ඉන්නවා.’’ පියසේනගේ බිරිඳ මන්තරයක් මෙන් ඔහුට ජප කරන්නට පටන් ගත්තේ එවිටය. අතට සල්ලි ලැබෙන විට පියසේනට තටු එන බව හොඳ හැටි දැනගෙන සිටියේ ඇයය. ‘‘පියසේනට කෝටි දෙකහමාරක් ඇදිලා.’’ පියසේනගේ අසල්වැසියන්ට මේ පුවත ආරංචි වෙන්නට වැඩි කල් ගියේ නැත. සුබ පතන්නට පාර්ටි ඉල්ලන්නට බොතල් ඉල්ලන්නට ඔහු පසුපස මිතුරෝ පොර කකා ආවෝය. ‘‘පසුගිය කාලේ කන්න බොන්න පවා නැතුව හිටියා. මේ කෙල්ලන්ව ඉස්කෝලෙ යවාගන්න බැරිව හිටියා. ඒවා මතක නැද්ද දැන්. ඔය සල්ලි ටික ආරක්ෂා කර ගන්න ඕන.’’ පියසේනට ඇයගේ බිරිඳ මළ වදයක් වන්නට පටන් ගත්තේ දිනපතා ඔහුට ලබා දෙන උපදෙස් නිසාය. ඉන්න ටිකේ කාලා බීලා ඉන්න ඕනේ. ආයෙ කවදා ලැබෙයිද දන්නෙ නෑනේ මේ වගේ පිනක් කියමින් ඔහු ඇය එසේ පවසන හැම අවස්ථාවකදීම පෙරළා පිළිතුරු දුන්නේය. පියසේන කිසි දිනක ඇසුරු නොකළ යහළුවන් පවා ඔහුගේ ඇසුරට පැමිණෙන්නට පටන් ගත්තේ කෝටි දෙකහමාරේ ලොතරැයිය ඇදීමෙන් පසුවය. ‘‘මචං පට්ට වැඩක් තියෙනවා කරනවා නම්. සල්ලි මොනවද කියලා හිතෙනවා බන්. මම කියනවට ට්‍රයි කරපං. උඹට මාර සැපක් දැනෙයි.’’ පියසේනගේ ජීවිතයට කණ කොකා හඬලන්නට පටන් ගත්තේ එදායින් පසුවය. ඔහුගේ මුදල්වලට ලොබ බැඳී මිතුරන් පිරිසක් හීන් නූලෙන් පියසේනව මත්කුඩු පානයට යොමු කළේය. එහෙයින් පසුව ඔහු එම පුරුද්දෙන් ගලවා ගන්නට ගෙදර බිරිඳට තබා සක්‍රයාටවත් නොහැකි වූයේය. කෝටි දෙකහමාරක මුදලක හිමිකරුවකු වූ පියසේනට මත්කුඩු භාවිත කිරීමට මුදල් සොයා ගැනීම ඒ තරම් අපහසු කටයුත්තක් නම් වූයේ නැත. ඔහු වටා සිටි පාප මිතුරු කැළ දිනපතා පියසේනගෙන් මුදල් ඉල්ලාගෙන යන්නේ ඔහුට මත්කුඩු ගෙන දීමේ පොරොන්දුව පිටය. සමහරු සල්ලි ඉල්ලාගෙන ගියත් ඔහුට මත්කුඩු ගෙනාවේ නැත. සල්ලිවලින් පිරී ඉතිරී යමින් සිටි පියසේනට රුපියල් මොණර කොළ ලොකු වූයේ නැත. සල්ලි ඕනෑනම් ඔහුට කරන්නට තිබුණේ බැංකුවට යාම පමණි. දෙතුන් මසක් යන විට පියසේනගේ ගිණුමේ මුදල් ටිකෙන් ටික අඩු වන්නට පටන් ගත්තේය. එහෙත් ඒ ගැන ඔහුට වගක් නොවීය. ‘‘මාර පොට් එකක් තියෙනවා පියසේන. එතැන මරු බඩු ටිකක් තියෙනවා. හැබැයි ගාණ තමයි බං සැර.’’ පියසේන වෙත එන ඔහුගේ යහළු මිතුරන් එලෙස පවසමින් මිලාධික මත්ද්‍රව්‍ය පානයට ඔහුව රැගෙන ගියේය. අන්තිමේදී පියසේනට බිරිඳත් දරුවනුත් අමතක විය. දවස පුරාම කළේ කුඩු ගැසීමය. ඔහුගේ බිරිඳ හා දරුවන් දෙදෙනා හැඬූ කඳුළින් සිටියත් තම ස්වාමියාව එම අපායෙන් ගලවාගනන්ට බිරිඳටත් තම පියාව එම අපායෙන් ගලවාගන්නට දියණියන්ටත් නොහැකි විය. ජීවත්වන්නට මගක් නොමැතිව අන්ත අසරණ වී සිටි පියසේනට ලැබුණු ‘‘වරමින්’’ ඔහු ප්‍රයෝජන ගත්තේ නැත. ලොතරැයි දිනුමින් ලැබුණු දෙකෝටි පනස් ලක්ෂයම මත් රකුසාට පූජා කළ පියසේනට නැවත වරක් සිදු වූයේ හිඟන්නකු ලෙසින් ජීවත් වන්නටය. දෙකෝටි පනස් ලක්ෂයම විනාශ කරමින් මත්කුඩුවලට ඇබ්බැහි වූ පියසේන කීයක් හරි හම්බු වූ සැණින් කළේ කුඩු ගැසීමට යාමය. කෝටිපතියාට වැඩ වැරදෙන්නට පටන් ගත්තේ ඔහුගේ සහචරයන් කිහිප දෙනකු සමග ‘‘හෙරොයින්’’ පානය කරමින් සිටියදීය. ගිය සතියේ දිනක පියසේන කුඩු ගහමින් සිටි තැනකට පොලිසියෙන් පැන්නේය. ඒ මොහොත වන විටත් මෙම පිරිස සතුව මත්කුඩු මිලිග්‍රෑම් එක්දහස් හාරසියයක් තිබී ඇත. කටුස්තොට පොලිසියේ නිලධාරීන් මෙම පිරිස ඒ අවස්ථාවේදීම අත්අඩංගුවට ගත්හ. පියසේන සතුව තිබුණේ හෙරොයින් මිලිග්‍රෑම් එක්දහස් හයසියයකි. ඒ අවස්ථාවේම ඔහු පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරුවන් පිරිස මහනුවර මහෙස්ත්‍රාත් දුමින්ද මුදුන් කොටුව හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මෙම සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සිදු කරන්නේ කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ඩබ්.එම්.එස්. උවින්දසිරිගේ උපදෙස් මත දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සේනාරත්නය. පියසේන වගේ එක රැයෙන් කෝටිපතියෙක් වී ඒ රැයින්ම අමු හිඟන්නෝ වූ ඕනෑ තරම් පුද්ගලයන් පිළිබඳව අප අසා ඇත. සමහරුන්ට ලොතරැයි දිනුම් නිසා තමන් සන්තකයේ ඇති සියල්ල අහිමි කරගන්නට සිදුවිය. තවත් සමහරුන්ට ජීවිතයෙන් පවා සමුගන්නට සිදුවූයේද දරාගත නොහැකි මුදල් කන්දරාවක් නිසාය. එවැනි දරාගත නොහැකි මුදල් කන්දරාවක් ලැබුණු බොහෝ කෝටිපතියන්ට, කෝටිපතියෙක් වූ දා පටන් ජීවත් වන්නට සිදුවෙන්‌නෙ පණ බියෙනි. ඒ කොයි මොහොතේ හෝ තමන්ගේ මුදල් සොරා ගන්නට කවුරුන් හෝ පැමිණෙන්නේදැයි බියෙන් සිටින නිසාය. බොහෝ විට එවැනි කෝටිපතියෝ පවසන්නේ කෝටිපතියෙක්ව ජීවත් වීමට වඩා හිඟන්නෙක්ව ජීවත් වීම වඩා සැනසිලිදායක බවය. අශිකා ජයවීර
 

More News..