brand logo

කෝටි ගාණක් වටිනා වත්තල නගර සභාවේ ඉඩම තුට්ටු දෙකට දේශපාලන කුක්කෙකුට

16 March 2019

වත්තල නගර සභාව ඉදිරිපිට ඇති එම සභාවට අයත් අධික වටිනාකමකින් යුත් පර්චස් 79ක ඉඩමක් ඉතා අඩු මුදලකට ටෙන්ඩර් කැඳවා පළාතේ ප්‍රබල දේශපාලනඥකුගේ හෙන්චයියකුට විකුණා ඇති බව වාර්තා වේ. පර්චසයක් රුපියල් ලක්ෂ 50ක පමණ වෙළෙඳපොළ ඉල්ලුමක් ඇති ඉඩමේ පර්චසයක් විකුණා ඇත්තේ ලක්ෂ 13ක් වැනි මිලකට බව වාර්තා වේ. එම ඉඩම අලෙවිය සඳහා පසුගිය පෙබරවාරි 14 වැනි දින ප්‍රසිද්ධ දැන්වීමක් ද ජාතික පුවත්පත්වල පළ කර එම මස 28 වැනි දින ටෙන්ඩර් භාර ගැනීම අවසන් කර ඇත. මාර්තු 01 දින ලංසු කැඳවීම සිදු කර ඇති අතර ඒ කාලය තුළදී ටෙන්ඩර්වලට ඉදිරිපත් වීමට පැමිණි අයට අයැදුම්පත්‍ර ලබා නොදුන් බවට චෝදනා එල්ල කෙරේ. කෙසේ වෙතත් වාර්තා වන අන්දමට පළාතේ ප්‍රබල දේශපාලනඥයකුගේ හෙන්චයියකුට එය ලබාදී ඇත්තේ ඔහුට ඒ ආසන්නයේ තවන් නමින් ඉඩම් පිහිටීම නිසා බව ද පැවසේ. ඔහු මේ වන විට විදේශගතව සිටින අතර කොළඹ ප්‍රධාන වීදියක වෙළෙඳසල් කිහිපයක් හිමි ධනවත් අයකු බවද වාර්තා වේ. මෙම ඉඩම සඳහා අනුමැතිය ලබාගැනීමට බස්නාහිර පළාත් සභාවේ ඉහළම අයකුට රුපියල් කෝටියක අල්ලසක් සමග වත්තල නගර සභාවේ විශාල පිරිසකට අත යට සංතෝසමක් ලබා දී ඇති බව වාර්තා වේ. මෙලෙස රුපියල් පහළොස් දහසේ සිට රුපියල් කෝටිය දක්වා වූ සංතෝසම් මුදල් ලබාදී ඇති බවට ද වාර්තා වේ. කෙසේ වෙතත් ඉඩමේ නීත්‍යානුකූල අයිතිය ලබා ගැනීමටත් ප්‍රථම කිසිදු අවසරයකින් තොරව ඉදිකිරීම් කටයුතුද ආරම්භ කර ඇත. මේ සම්බන්ධයෙන් වත්තල නගර සභාවේ සභාපති මාර්ක් ගුණසේකරගෙන් කළ විමසුමකදී පැවසුවේ ප්‍රධාන අමාත්‍යවරයාගේ නිසි අවසරය අනුව නියමිත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරමින් වැඩිම මිල ගණන් ඉදිරිපත් වූ ටෙන්ඩරයට එය ලබා දුන් බවයි. ‘‘කිසිවකුට ටෙන්ඩර් දාන්න අවස්ථාව අහිමි වුණේ නෑ. තැරැව්කරුවන් කිහිප දෙනෙක් තමයි ඔය පුවත් ගෙන යන්නේ. විකුණූ මිල ගණන් ටෙන්ඩර් කොමිටියට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒකෙන් පස්සේ ඇත්ත ගණන් හෙළිකර ගන්න පුළුවන්. නීත්‍යානුකූලව පළාත් සභාවේ අධීක්ෂණය කරලා තියෙන වැඩක්. ඊට ආසන්න ඒ අයගේ ඉඩමක් තියෙනවා. ඒකේ ඉදිකිරීම් කරන්න මේ ඉඩමේ තාවකාලික කාර්යාලයක් ඉදිකිරීමට කටයුතු කළා. ඒකත් අපි දැන් නැති කරලා දැම්මා.’’ යැයි සභාපතිවරයා සඳහන් කළේය. චමින්ද සේනාරත්න
 

More News..