brand logo

කෝටි ගණනක් වටිනා විදුලි උදුන අවුරුදු හතරාමාරක් ඇසුරුම්වල දමා තිබිලා - විමල් කියයි

12 February 2020

මැණික්වල වර්ණය වැඩි දියුණු කිරීමේ සේවාව, මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නියැලුණු ජනතාවට ලබා දීම පිණිස 2014 වසර අගභාගයේ ගෙන ආ විදුලි උඳුන, පසුගිය ආණ්ඩුවේ වසර හතරහමාරක පාලන කාලය තුළ සවි කිරීමටවත් කටයුතු නොකිරීමෙන් පෙනී යන්නේ එම ආණ්ඩුවේ අකාර්යක්‍ෂමතාව හා මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නියැලෙන ජනතාවට දැක්වූ අඩු සැලකිල්ල යැයි කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ(11) රත්නපුර මැණික් මධ්‍යස්ථාන පරිශ්‍රයේ මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනයට අයත් ‘ගෙවුඩ සේවා පියස’ විවෘත කිරීමෙන් අනතුරුව උත්සව සභාව අමතමිනි. ගෙවුඩ සේවා පියස තුළ සවිකර ඇති ඉහත විදුලි උඳුන නිල වශයෙන් ක්‍රියාත්මක කිරීම ද මෙහිදී අමාත්‍යවරයා අතින් සිදු විය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය. “2019 නොවැම්බර් 16 වනදායින් පසුව මේ රටට එඩිතර නායකත්වයක් ලැබී තිබෙනවා. අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් රටට විශිෂ්ඨ නායකත්වයක් ලබා දෙනවා. අග්‍රාමාත්‍යතුමන් ඇතුළු අමාත්‍ය මණ්ඩලය, ආණ්ඩුව ලෙස අප ඉදිරියේ ඇති අභියෝගවලට මුහුණ දෙමින් සිටිනවා. කොරෝනා වෛරසය පසුගිය අවුරුදු හතරහමාර තුළ පැතිර ගියා නම් හිටපු පාලකයන් මොනවා නොකරයිද? ජනාධිපති,අගමැති, ඇමති මණ්ඩලය ගෙදරින් එළියටවත් නොබැස සිටීවි. රට පුරා කොරෝනා වෛරසය වේගයෙන් පැතිර යාවි. නමුත් අපට අද නිවැරදි නායකත්වයක් යටතේ රටක් ලෙස කොරෝනා වෛරසයට සාර්ථකව මුහුණ දීමට හැකිව තිබෙනවා. චීනයේ සිටි ලාංකික සිසුන් නොබියව ගෙන්වා ගත්තා පමණක් නොව, ඔවුන්ව සාර්ථකව නිරෝධනයට ලක් කළා. වෛරසය නිසා රෝගී වූ චීන කත සුවපත් කළා. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදීත් නිසි වේලාවට පියවර නොගැනීම නිසා පසුගිය ආණ්ඩුව මේ රටේ අහිංසක ජීවිත 300ක් බිලි දුන් ආකාරය අමතක නැහැ." මෙම අවස්ථාවට මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනයේ සභාපති තිලක් වීරසිංහ, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති අමිත් ගමගේ, එම ආයතන දෙකෙහි අධ්‍යක්ෂ ජනරාල්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ. මෙහිදී මැණික් හා ස්වර්ණාභරණ හා පුහුණු ආයතනයේ පුහුණුව ලැබූ සිසු සිසුවියන්ට NVQ සහතික පත්‍ර ප්‍රදානය කිරීමද සිදු කෙරිණි.
 

More News..