brand logo

කො​රෝනා නිසා ත්‍රිරෝද රථ රියැදුරන් අමාරුවේ

12 November 2020

දිවයින පුරා විසිරී සිටින ත්‍රිරෝද රථ රියැදුරන් ලක්ෂ 08ක් සිය රැකියාවේ යෙදීමට නොහැකිව අසරණ තත්ත්වයට පත්ව ඇති බවත් ඔවුන් වෙනුවෙන් සහන ලබාදීමට රජය මෙතෙක් කටයුතු කර නොමැති බවත් සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති සුදිල් ජයරුක් ‘අරුණ’ට පවසා සිටියේ බස් රථවලට පසුව මගී ප්‍රවාහන සේවයේ දෙවන ස්ථානය හිමි කරගෙන සිටින ත්‍රිරෝද රියැදුරන් දුම්රිය සේවයටත් වඩා ඉහළින් සිටින බවත් ඔවුන්ගේ ගැටලුවලට සහනයක් ලබාදීමට ප්‍රවාහන ඇමැතිවරයා මූලිකත්වය ගෙන කටයුතු නොකරන බවය. මේ වන විට ඇඳිරිනීතිය ඉවත් කළ ප්‍රදේශ ඇතුළුව දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ජනතාව වෙනදා මෙන් සිය දෛනික කටයුතුවල නොයෙදීම හේතුවෙන් ත්‍රිරෝද රථ රියැදුරන් මහත් සේ අසරණව සිටින බවත් හෙතෙම කියා සිටියේය. ඔහු පැවසුවේ ත්‍රිරෝද රියැදුරන්ගේ ආර්ථික ගැටලු පිළිබඳව කිහිප විටකදීම ප්‍රවාහන ඇමැතිවරයා දැනුවත් කර තිබුණද තවමත් ඒ පිළිබඳව කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවය. ත්‍රිරෝද කර්මාන්තයෙන් රැකෙන පවුල්වල සාමාජිකයන් ද මේ වනවිට ගැටලු රාශියකට මුහුණ දෙමින් සිටින බවත් ඉතා ඉක්මනින් මෙම පිරිසට සහනයක් ලබා නොදෙන්නේ නම් ඒ පිළිබඳ වගකීම රජය ගත යුතු බවද සභාපතිවරයා පැවසීය.   අශිකා ජයවීර
 

More News..