brand logo

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් 500 ඉක්මවූ ආසාදිත පිරිසක්

17 June 2021

  කොවිඩ් -19 ආසාදිතයින් 2,436ක් ඊයේ (16) දිනයේ මෙරටින් හඳුනා ගෙන තිබෙන අතර ඉන් 17 දෙනෙකු විදේශ ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් වෙයි. මේ අතර ඊයේ (16) දිනයේ 500 ඉක්මවූ ආසාදිත පිරිසක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇත. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් 561ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 516ක් වශයෙන් වාර්තා වී තිබේ. මේ අතර බස්නාහිර පළාතේ සෙසු දිස්ත්‍රික්කය වන කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 156ක් හඳුනා ගෙන තිබේ. කුරුණෑගල 137ක්, මඩකලපුව 134ක්, රත්නපුර 127ක්, පුත්තලම 121ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් 103 ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත. මීට අමතරව මහනුවර, ගාල්ල, අනුරාධපුර, මාතර, පොළොන්නරුව, අම්පාර, නුවරඑළිය, හම්බන්තොට, බදුල්ල, මොනරාගල, කිලිනොච්චිය, මුලතිව්, ත්‍රිකුණාමලය, මාතලේ සහ වව්නියාව යන දිස්ත්‍රික්කවලින් ද කොවිඩ් -19 ආසාදිතයින් හඳුනාගෙන තිබේ. මෙරට දිස්ත්‍රික්ක 25 න්ම ආසාදිතයින් වාර්තා වී තිබෙන අතර අඩුම ආසාදිතයින් සංඛ්‍යාවක් මන්නාරම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. මන්නාරම දිස්ත්‍රික්කයෙන් ඊයේ (16) ආසාදිතයින් 03 දෙනෙකු වාර්තා වී තිබේ. මේ අතර මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 230,692ක් වන අතර දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිත පිරිස 34,232ක් වෙයි. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,374ක් දක්වා ඉහළ ගොස් ඇත.
 

More News..