brand logo

කොළඹ වරාය පිවිසුමේ සිට දියත උයනට පාපැදි මංතීරුවක්

25 September 2020

කොළඹ වරාය නගර පිවිසුමේ සිට බත්තරමුල්ල දියත උයන දක්වා විහිදී යන පරිදි නගර රැසක් සම්බන්ධ වන ආකාරයට පාපැදි මංතීරුවක් ඉදිකිරීම සඳහා මූලික සැලැස්ම මේ වන විට සකස් කරමින් සිටින බව නාගරික සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් අධ්‍යක්ෂ වයි.ඒ.ජී.කේ. ගුණතිලක මහතා පැවසීය. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ගරු නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, ඝණ අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මැතිතුමා විසින් අනුමත කර ඇති මෙම යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂ ද සිල්වා මහතාට සහ එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එන්.පී.කේ. රණවීර මහතාට උපදෙස් දී ඇත. පාසල් ළමුන්, රැකියාවන්හි නිරත පිරිස්, දෙස් විදෙස් සංචාරකයින් හා පා පැදි ක්‍රීඩාවෙහි නිරතවන පිරිස් ඉලක්ක කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන අතර, ඉතා ආරක්ෂාකාරී ලෙස ගමන් කිරීමට හැකි පරිසරයක් ද මේ තුළින් ගොඩනැගීමට අපේක්ෂා කරයි. ප්‍රධාන මාර්ගයට පිවිසෙන රථ වාහන අවම කිරීම තුළින් මාර්ග තදබදය අවම කිරීමේ හා පරිසරහිතකාමී ප්‍රවාහන මාධ්‍යයන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කොළඹ වරාය නගර පිවිසුමේ සිට බත්තරමුල්ල දියත උයන දක්වා ඉදිකිරීමට සැලසුම් කර ඇති මෙම පාපාදි මාර්ගයේ දුර කිලෝමීටර 23 කි. පළල අවම මීටර 1.5 ක් ද වන අතර උපරිමය මීටර 2.5 ක් වන මෙම පාපැදි මංතීරුව කොළඹ වරාය නගරයෙන් ආරම්භ කිරීමට නියමිතය. මෙම පා පැදි මාර්ගය වරාය නගර පිවිසුමෙන් ආරම්භ වේ. අනතුරුව කෙටි දුරක් ගාලුපාරට සමාන්තරව ගමන්කර බාලදක්ෂ මාවතේ බේරේ වැව දෙසට හැරි ගංගාරාමය හා කලම්බො සිටි සෙන්ටර් ගොඩනැගිල්ල අතරින් විහාර මහාදේවී උද්‍යානය දෙසට ගමන් කරයි. අනතුරුව මං තීරුව යොමු වන්නේ උද්‍යානය මැදිනි. උද්‍යානය මැදින් නෙළුම් පොකුණ රඟහල අසලින් නිදහස් චතුරශ්‍රය තෙත් ගමන් කර ආකේඩ් ගොඩනැගිල්ල අසලින් බෞද්ධාලෝක මාවත ඔස්සේ බොරැල්ල කනත්ත වෙත ගමන් කරයි. බොරැල්ල කනත්ත පසුකර බේස්ලයින් සීමාවේ ඇති ගොල්ෆ් පිටිය හරහා කෝට්ටේ වගුරු බිම් අතරින් දියත උයන තෙක් පළමු අදියර ගමන් කරයි. එතැන් සිට දියවන්නා ඔය ඔස්සේ පාර්ලිමේන්තු වටා විහිදී නැවත වරක් දියත උයන දක්වා පැමිණේ. මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ මීතොටමුල්ල, ශාන්ත බස්තියන් ඇල මාර්ගය, අසලින් අලුත් කඩේ උසාවි සංකීරණය අසලින් ගමන්කර පාවෙන වෙරළ සංකීර්ණය වෙත පැමිණිමට සැලසුම් කර ඇත. අදියර 01 යටතේ මේ මාර්ගය තුළ කුලී පදනම මත පා පැදි ලබා ගත හැකි ස්ථාන 11ක් වේ. ඕනෑම ස්ථානයකින් මුදල් ගෙවා පාපැදියක් ලබාගෙන මේ ස්ථාන 11න් ඕනෑම තැනකට යළි පාපැදිය භාර දිය හැකිය. මෙම මාර්ගය භාවිත කරන්නන් බොහෝවිට එහි ගමන් කරන්නනේ උදෑසන හෝ රාත්‍රී කාලයේ යැයි උපකල්පනය කරන බැවින් ආලෝකය අඩ අවස්ථාවල භාවිත කළ හැකි ආකාරයේ පහන් හා වර්ණ ගැන්වීම් ජාත්‍යාන්තර ප්‍රමිතියකට අනුව සිදුකිරීමට බලාපොරොත්තු වේ. මෙම ව්‍යාපෘතිය මෙම වසර අවසානයේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර 2021 වනවිට ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂිතය.
 

More News..