brand logo

කොළඹ වරාය නගරය ලස්සන වෙරළක් වෙනුවෙන් කැපවෙයි

11 January 2020

‍දකුණු ආසියාවේ ඉදිවන ජාත්‍යන්තර තලයේ නගරයක් වන කොළඹ වරාය නගරය (පොර්ට් සිටි) කොළඹ නගරයේ සහ එහි අවට තිරසාර සංවර්ධනය උදෙසා දැනටමත් සුවිශේෂී මෙහෙවරක් ඉටුකරමින් සිටී. එහි තවත් පියවරක් වශයෙන් කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල වෙරළ තීරය අලංකාරව සහ පිරිසිදුව තබාගැනීම සඳහා වරාය නගරය මේ වන විට විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, ගල්කිස්සේ සිට වැල්ලවත්ත දක්වා වෙරළ තීරය අඛණ්ඩව පිරිසිදුව තබාගැනීම සඳහා ‘ලස්සන වෙරළ’ යන තේමාවෙන් වසරක් පුරා දිවෙන දිනපතා වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2020 ජනවාරි 04 දින සිට දියත් කිරීමට වරාය නගරය කටයුතු යොදා තිබේ. ඒ සඳහා පරිසර ක්‍රියාකාරී සංවිධානයක් වන ‘වන අරණ පදනම’ ද කොළඹ වරාය නගරය සමග අත්වැල් බැඳගෙන සිටී. වැඩසටහන සඳහා වරාය නගරය මගින් මූල්‍යාධාර සපයනු ලබන අතර, වන අරණ පදනමේ මෙහෙයවීමෙන් නිත්‍ය සේවක පිරිසකගේ දායකත්වයෙන් වසරේ සෑම දිනකම මෙම කිලෝමීටර් 5 ක දිගකින් යුත් වෙරළ තීරය පවිත්‍ර කරනු ඇත. මේ වනවිට ගල්කිස්ස සිට වැල්ලවත්ත දක්වා වෙරළ තීරයේත් ඒ අවට ඇළ මාර්ගවලත් විශාල වශයෙන් කසළ ගොඩගැසීම පරිසරයට මෙන්ම ජනතාවගේ සෞඛ්‍යයටද විශාල තර්ජනයක් වී තිබේ. මෙම ප්‍රදේශවල ජීවත් වන ජනතාවට මෙන්ම වෙරළ තීරය වෙත පැමිණෙන වෙනත් ප්‍රදේශවල ජනතාවටද මෙම තර්ජනය බලපායි. මෙම වැඩසටහනට නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශය, කොළඹ මහනගර සභාව, දෙහිවල ගල්කිස්ස මහනගර සභාව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය සහ වෙරළාරක්ෂක බළකාය යන අංශයන්ගේ දායකත්වය ලැබී ඇත. 2020 ජනවාරි 04 දින ගල්කිස්ස වෙරළේදී මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිත අතර මේ සඳහා නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම සහ කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ කළමනාකාර අධ්‍යක්ෂ Jiang Houliang යන මහත්වරුන් සහභාගී වීමට නියමිත ය. එදින සමාරම්භක පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා වන අරණ පදනම, කොළඹ වරාය නගරය සහ Rotaract Sri Lanka හි සාමාජික සාමාජිකාවන් සිය ස්වේච්ඡා ශ්‍රම දායකත්වය ලබාදෙනු ඇත.
 

More News..