brand logo

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය අන්සතු කරන්නේ නැහැ

01 February 2021

වර්තමාන රජයේ ප්‍රධානතම ප්‍රතිපත්තිය වන දේශීය සම්පත් අලෙවි නොකිරීම යටතේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිඳු රටකට අලෙවි කිරීම හෝ පාලනයට භාර නොදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (01) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව සමග පැවැති සාකච්ඡාවකදීයි. නැගෙනහිර පර්යන්තය 100% ක් වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක ආයතනයක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යන බවද අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කළේය. කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ අයිතිය හා පාලනය විදේශ රටකට ලබාදීමට රජය කටයුතු කරන බව පවසමින් නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව විරෝධතා ව්‍යාපාරයක් අරඹා ඇත. එය අකුරට වැඩ කිරීමේ තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබෙන පසුබිමක අග්‍රාමාත්‍ය ඊයේ දිනයේදී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විදේශ රටකට හෝ ආයතනයකට ලබා නොදෙන බව ප්‍රකාශයට පත් කළේය. විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් ඉදිරිපත් කිරීමෙන් පසු එහි අඩංගු කරුණු විදේශීය සමාගමට ඉදිරිපත් කිරීමේදී එම කැරුණු වලට එම සමාගම එකඟ නොවූ නිසා නැගෙනහිර පර්යන්තය 100% වරාය ආධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් බවට පත් කිරීමේ කැබිනට් පත්‍රිකාව පස්වරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි. එම තීන්දුවට නැගෙනහිර පර්යන්තය සුරැකීමෙ වෘත්තීය සමිති එකමුතුව එකඟ විය. ඒ අනුව අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ය හෙට (02) දිනයේ සිට අත්හිටුවීමට ද වෘත්තීය සමිති එකමුතුව මෙහිදී එකඟ විය. මෙම සාකච්ඡාවේදී වෘත්තීය සමිති නායකයින් කියා සිටියේ වරායේ නැගෙනහිර පර්යන්තය අන්සතු නොකරන බවට ලිඛිත ලියවිල්ලක් ලබා දෙන ලෙසයි. එහිදී අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කළේ මගේ වසර 50 ක දේශපාලන ඉතිහාසයේ වෘත්තීය සමිති විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග අපමණ ප්‍රමාණයක් විසදා ඇති අතර එම කිසි දිනෙක තමන් ඒවා ලිඛිතව ලබා දී නොමැති බවත්, තමන් යමක් ප්‍රකාශ කළොත් එය ඒ අයුරින්ම ඉටු කරන බවයි. අගමැතිවරයා ලෙස මා පවත්වන රැස්වීම්වලදී ගන්නා තීරණ එසේම ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් බැදී සිටිනවා. මා ගන්නා තීරණ සාකච්ඡා වලට පමණක් සීමා නොවී ඒවා ක්‍රියාවට නංවනවා යැයි ද අග්‍රාමාත්‍යතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
 

More News..