brand logo

කොළඹ වරායේ කන්ටේනර් ස්කෑන් යන්ත්‍රය ජනවාරි 01 සිට ක්‍රියාත්මක කරන්න යයි

26 December 2019

කොළඹ වරායේ පරිලෝකන පරිශ්‍රයේ සවිකර ඇති ස්කෑන් යන්ත්‍රයෙන් කරන බහාලුම් පරීක්ෂණ කටයුතු ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට ආරම්භ කිරීමට යන බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න ‘අරුණ’ ට පැවසීය. ඒ සඳහා අවශ්‍ය කටයුතු රජය මගින් සිදු කරනු ඇති බවට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය. පසුගිය රජය සමයේ මුදල් අමාත්‍යාංශය මුල්වී ඇමරිකාවේ ඒෂියා පැසිපික් රැපීස් ස්කෑන් සිස්ටම් ආයතනය සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගත් ගිවිසුමකට අනුව ස්කෑන් යන්ත්‍රය මෙරටට ගෙන්වන ලදී. කෙසේ වෙතත් ස්කෑන් යන්ත්‍රයේ අත්හදා බැලීම් පරීක්ෂා කරමින් සිටින අවස්ථාවේදී කන්ටේනර් රථ රියැදුරන් තම සෞඛ්‍යයට අහිතකර යැයි කියමින් රිය ධාවනය ප්‍රතික්ෂේප කළ නිසා එය තාවකාලිකව අත්හිටුවූ බව අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න පැවසීය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙය හොඳ ව්‍යාපෘතියක බවත්, මෙවැනි ස්කෑන් යන්ත්‍රයක් මගින් වරායට රැගෙන එනු ලබන සහ පිටවන කන්ටේනර් පරීක්ෂා කිරීම හරහා නීතිවිරෝධී ක්‍රියා මැඬපවත්වා ගැනීමට හැකිවන බවය. මේ හරහා සෞඛ්‍යයට අහිතකර බලපෑම් සිදුවනවා යැයි ඇතැමුන් ප්‍රකාශ කළද එවැනි කිසිදු අහිතකර තත්ත්වයක් නොමැති බවද අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සඳහන් කළේය. පසුගිය දිනක වරාය හා නාවික කටයුතු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, වෘත්තීය සමිති නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව කියා සිටියේ ස්කෑන් යන්ත්‍රය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකරන තුරු එහි පරීක්ෂා කටයුතු අත්හිටුවීමට කටයුතු කරන ලෙසයි. නමුත් වරාය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කළේ මෙම ස්කෑන් යන්ත්‍රය මුදල් අමාත්‍යාංශය මුල්වී ගෙන්වූ නිසා මුදල් අමාත්‍යාංශය ඒ පිළිබඳව තීරණයක් ලබාදෙන තුරු එහි මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට නොහැකි බවය. වරුණි පෙරමුණ
 

More News..