brand logo

කොළඹ වරායට නව බහලු මෙහෙයුම් මධ්‍යස්ථානයක්

07 January 2021

කොළඹ වරායේ බහලු මෙහෙයුම් මධ්‍යස්ථානවල ගුණාත්මක තත්ත්වය ඉහළ නංවාලීමේ අරමුණෙන් නව බහලු මෙහෙයුම් මධ්‍යස්ථානය ට මුල්ගල තැබීම පසුගිය 04 වැනිදා සමගි බහලු පර්යන්ත පරිශ්‍රයේ දී සිදුවිය. මෙම යෝජිත බහලු මෙහෙයුම් මධ්‍යස්ථානය තුළ සාමාන්‍ය නැව්බඩු සඳහා වර්ග මීටර් 9,500 ක් ද අන්තරායකර නැව්බඩු ගබඩා කිරීම් සඳහා වර්ග මීටර් 1060 වපසරියකින් ද සමන්විතයි. වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා, මේ මොහොත වරායේ උන්නතිය වෙනුවෙන් දායක වන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවා සැපයුම් ක්‍ෂේත්‍රයේ විශේෂිත පිටුවක් පෙරලන මොහොතක් බැව් පැවසීය. මෙම බහලු මෙහෙයුම් මධ්‍යස්ථානය නිසි කාල වකවානු තුළ ඉදිකරමින් වරාය සේවා සැපයුම් දාමය නවීන තාක්‍ෂණික පහසුකමින් සමන්විත විශිෂ්ඨ සේවා සැපයීමක් කරා යොමු කිරීමට ඉවහල් වන බැව් තමා අපේක්‍ෂා කරන බැව් පැවසීය. තවද, වරාය භූමිය තුළ ඉදිකිරීම් සිදුකිරීමේ දී ජාතික ප්‍රතිපත්ති සැළසුම්වලට අනුකූලව කටයුතු කරමින් වරාය භූමිය ආරක්‍ෂා කරමින් කටයුතු කිරීමට තමා නිරන්තරයෙන් වරාය අධිකාරියේ සභාපතිතුමා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලයට උපදෙස් ලබා දෙන බවත් පැවසී ය. එමෙන්ම වරාය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ දී එකී තීන්දු තීරණ රටේ අනාගතය ශක්තිමත් කිරීමට නිසැකයෙන්ම ඉවහල් විය යුතු යැයි තමා විශ්වාස කරන බවත්, අකර්මන්‍ය වී තිබූ වරාය නැවත පණ ගන්වන්නට තමා කටයුතු කරන බවත් අවධාරණය කළේ ය. ගුදම් පහසුකම්, බහලු අංගන වරාය සැපයුම් පහසුකම් බෝට්ටු හා නාවික කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා, ශ්‍රී ලංකා වරාය අධිකාරිය යළිත් ස්වර්ණමය දිශානතියකට ගමන් කරමින් සිටින බවත්, අද දවසේ වරාය සේවා සැපයුම් ක්‍ෂේත්‍රයේ නව පිටුවක් පෙරලමින් ඉදිකිරීමේ වැඩ ඇරඹෙන මෙම බහලු මෙහෙයුම් මධ්‍යස්ථානය කොළඹ වරාය තරගකාරී වරායයන් අතර, ප්‍රමුඛතම තලයට රැගෙන එතැයි තමා විශ්වාස කරන බැව් පැවසීය. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා, සේවා සැපයුම් අවශ්‍යතා අදට ගැලපෙන ලෙසින් නවීකරණය කරමින්, නවීන තාක්‍ෂණය සමග අනුගතව ඉදිකිරීමට යෝජිත මෙම බහලු මෙහෙයුම් මධ්‍යස්ථානය වසරක් තුළ ඉදිකිරීමට අපේක්‍ෂා කරන බවත්, 2022 ජනවාරි මස එළඹෙන විට මෙම මධ්‍යස්ථානයේ ගුදම් පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය ලෙසින් අපේක්‍ෂා කරන බවත් පැවසීය.
 

More News..