brand logo

කොළඹ රාල හරි අමාරුකාරයා

27 July 2019

ආණ්ඩුව ගම් පෙරළිය සංවර්ධන වැඩසටහන පටන්ගෙන ඇත්තේය. හෙළයේ මහා ගත්කතු මාර්ටින් වික්‍රමසිංහයන් 1944 දී ලියා පසුව පාසල් පෙළ පොත්වලටද නිර්දේශ කෙරී පේරාදෙණිය සරසවි උගතුන් විසින් ලක්ෂ සංඛ්‍යාත වාර ගණනක් ලංකාවේ පළමු යථාර්ථවාදී නවකතාව යැයි විචාරයට ලක් කෙරුණ නවකතා පොතේ නම නිසා ගම්පෙරළිය යන වචනය මධ්‍යම පාන්තික උගත් ප්‍රජාව අතර මහත් චිර ප්‍රසිද්ධය. පියල් ඇතුළු නැගී එන ගමේ නව ධනපති පන්තිය හමුවේ රෑට වැස්සට තෙමෙන පරණ මහ ගෙයක් සේ කයිසාරුවත්තේ මුහන්දිරම් පවුල, කඩා වැටීම ඉන් නිරූපිතය. වික්‍රමසිංහයන් ගම් පෙරළිය ලියා අදහස් කළේ ගමේ වැඩවසම් වියගහෙන් මිදී නව ධනේශ්වර පන්තියක් මතුවෙන බව පෙන්වා දීමය. නව ධනේශ්වර පන්තියට කුල මාන්නයක් නැත. වංසෙ කබල්ගෑමක් නැත. ඒ නව පන්තිය යැපෙන්නේ ධනය මුල්කරගෙනය. එහෙත් ආණ්ඩුව ගමට ගෙනගිය ගම්පෙරළියෙන් එබඳු වෙනසක් ගමේ වේද? මාර්ටින් වික්‍රමසිංහයන් චිරාත් කාලයක් තම ඥාන ශක්තිය යොදවා නවකතා ඉතිහාසයේ විපර්යාසයක් කළ ගම්පෙරළිය පොත ලියා ලද ආදායම අබැටක් තරම් සොච්චමක් බවට පත් කරන මහා මුදලක් ආණ්ඩුවේ ව්‍යාපෘතියට මේ නම දුන් එකා සොයා ගන්නට ඇත. අයවැයෙන් ගම්පෙරළිය යටතේ මැතිවරණ කොට්ඨාසයකට රුපියල් මිලියන 200 ක් වෙන් කළේය. එය මේ සතියේ සිට එක් ඡන්ද කොට්ඨාසයකට මිලියන 400 වන සේ සියයට 100 කින් වැඩි කළේය. කවදාවත් නැති සත්ත්ව කරුණාවකින් ගමේ ජනතාවට මුදල් වෙන් කළ ආණ්ඩුව රාජ්‍ය ආයතනවලට මුදල් ඉතිරිකර ගැනීම සඳහා රාජ්‍ය වියදම් දැරීම් විචක්ෂණභාවය පරිශීලනය කිරීම මැයෙන් චක්‍රලේඛයක් අමාත්‍යාංශ ලේකම්වරුන්ටත්, ආයතන සභාපතිවරුන්ටත් පසුගිය සතියේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා යැව්වේය. එහි සඳහන් ආකාරයට අනවශ්‍ය විදුලිපහන් නිවා විදුලිපංකා නිවා දමා සියයට පහක විදුලි ඉතිරියක් කළ යුතුය. ආණ්ඩුව මේ ආයතනවල විදුලිපංකා ක්‍රියා විරහිත කර මුදල් ඉතුරු කර ගැනීමට චක්‍රලේඛන නිකුත් කරද්දී අලුත් කාර්යාලයක් බදු ගැනීමට රවි කරුණානායක රුපියල් මිලියන ගණනක මුදලක් ඉල්ලා ඇත. රජයේ කාර්යාලවල දුරකථන, ගමන් වියදම් කිසිවක් නොදරා මුදල් ඉතිරිකර ගත යුතු යැයි එම චක්‍රලේඛනයේ සඳහන්ය. රජයේ කාර්යාලවල ඉන්ධන වියදම් සීමා කරද්දී මේ ආණ්ඩුව පසුගිය කාලයේ ගෙන්වූ මිලියන සිය ගණනක් වටිනා ගුවන් යානයක් ගුවන්තොටේ මලකයි. ආණ්ඩුවේ ආයතනවල කඩදාසි ද ඉතුරු කරගත යුතු යැයි එම චක්‍රලේඛනයේම උපදෙස් දී ඇත්තේය. ඒ කඩදාසි පරෙස්සමින් පාවිච්චි කිරීමට උපදෙස් දී තිබෙන්නේ මීට තුන් මසකට පෙර ආරක්ෂක ලේකම්ට වෙඩි නොවදින රථයක් ගෙන ඒමට මුදල් වෙන් කළ ආණ්ඩුවමය. එබැවින් ආණ්ඩුව මේ කරන්නේ ජනතා මුදල් නිසි ලෙස ආරක්ෂා කර ගම සංවර්ධන කාර්යය නොවේ. ගමේ පොදු ජනතාව දෙස නොව ගමේ ඉන්නා ආණ්ඩු පාක්ෂිකයා දෙසවත් සිව් වසක් ඇසක් ඇර නොබැලූ ආණ්ඩුවේ ඉන්නා කොළඹ රාලලා ගම්පෙරළියෙන් කරන්නේ ඡන්ද මගඩියක් බව ඕනෑ කෙනකුට තේරේ. ආණ්ඩුවේ කන්තෝරුවේ විදුලි පංකාව නතර කර මුදල් ඉතුරු කරගන්නට චක්‍රලේඛන යවන ආණ්ඩුව සෑම විනාඩි ගණනාවකටම වරක් සංවේදී අයවැයෙන් ජනතාවට කියා දැන්වීම් දමන්නේ මේ මගඩි ගතිය නිසාය. ආණ්ඩුව මේ කරන කාර්යය සමාන වන්නේ ගම් පෙරළියට නොව වික්‍රමසිංහයන්ගේම මඩොල්දූව නවකතාවේ එන මගඩි නාටකයටය. මඩොල්දූව පොතේ එන මගඩි නාටකයට අනුව සුරංචියා නොහොත් කොළඹරාල යැයි හඳුන්වන අණ්ඩපාලයෙක් ගමට පැමිණ ගමේ ජනතාවට පෙන්වීමට නාටකයක් සංවිධානය කරයි. ලෝ පතළ ඇනී පෙරේරා නළඟනද එම නාට්‍යයේ රඟන බවට දැන්වීම් අච්චු ගසා ප්‍රසිද්ධ කරයි. ගමේ මිනිස්සු සත 25 බැගින් ගෙවා ටිකට් ගෙන නාට්‍යය නැරඹීමට පාසලේ ශාලාවකට රැස්වෙති. මොහොතකින් රංග ශාලාව තුළ කෝලාහලයක් ඇවිලී එහි සිටි එකෙකු ලේ පෙරාගෙන මිනී මරනෝ කියමින් දුව යයි. ලේ වෙනුවට මුහුණේ කුකුළු සායම් තවරාගත් නළුවෙකි. ලේ පෙරාගෙන ඔහු පැනයාමත් සමග නාට්‍ය නරඹන්නට ආවෝ සීසීකඩ දුව යති. ඒ සමගම සුරංචියාද ගමෙන් පලා යයි. මිනිසුන්ට ටිකට් ගන්නට වියදම් කළ බැවින් අතේ තිබූ සත පහත් අහිමිය. අන්තිමට ගමේ ඇත්තෝ මෙසේ කීහ. ‘‘සුරංචිය මහ අමාරුකාරය’’ ගමට වැදී ගම් පෙරළිය කරන මේ ආණ්ඩුවද එසේමය.
 

More News..