brand logo

කොළඹ මහජන පුස්තකාලයේ පොත් දස ලක්ෂයක් ‘කොහා’ ගිලියි

25 March 2019

ඉස්සරහට පොත් කියවන්න වෙන්නේ අන්තර්ජාලයෙන් ඔන්ලයින් සේවාව මගින් පුස්තකාලයේ ඕනෑම පොතක් කල්තියා වෙන්කර ගත හැකියි. දැන් පොත් ගැන තොරතුරු ගන්න පුස්තකාලයට එන්න ඕන නැහැ කොළඹ මහජන පුස්තකාලය ඩිජිටල්කරණය වී ඇති බවට ලැබුණු ආරංචිය සමගින් එකී විපර්යාසය සියැසින් දැක බලා ගැනීමට අප ද එම පරිශ්‍රය වෙත ගොඩ වීමු. ඒ වෙනදාට කාර්ය බහුලවන වේලාවක් බලායි. ප්‍රධාන කොරිඩෝවෙන් ඇතුළු වෙත්ම පුස්තකාලයේ අභ්‍යන්තර බඩුබාහිරාදියෙන් පවා කිසියම් වෙනසක් සිදුවි ඇති බැව් පෙනෙන්නට තිබිණි. වෙනදාට මෙම කාලයේ පුස්තකාල පරිශ්‍රය තරමක් කාර්යබහුල ස්වභාවයක් දිස්වෙන මුත්, කලබලයෙන් දිවෙන හිස් ගොඩෙහි යම් අඩුවක් අද විය. පොත් රැගෙන යාම සඳහා පැමිණ සිටි පාඨකයින්ගේ පෝලිම ද වෙනදා තරම් දිගු නොවීය. පොත් නැවත භාර දීම සඳහා දිගු පෝලිම්වල කල් මැරූ පිරිස් මෙදා සිය කාර්ය කඩිනමින් සිදුවෙන බැව් දැනගෙනදෝ, සිය වාරය පැමිණෙන තෙක් සංයමයකින් බලා සිටියෝය. ඩිජිටල් විපර්යාසය කෙසේ වෙතත් පුස්තකාලයට පැමිණෙන පිරිසේ යම් අඩුවක් වී ඇද්දැයි අපට සිතිනි. පෙර දින කතිකාකරගත් පරිදි මේ සම්බන්ධයෙන් අප දැනුවත් කිරීමට කැමැත්තෙන් පසු වූ තොරතුරු තාක්ෂණ සේවා පුස්තකාලයාධිපති ප්‍රසාද් ගුණසේන පැමිණෙන තෙක් එහි අලුතින් තැබූ සුවපහසු සෝපාවට බර දී අපි අසුන්ගෙන සිටියෙමු. පුස්තකාලයේ සිදුවූවා යැයි කියන වෙනස්කම් පිළිබඳව ප්‍රසාද් ගුණසේකර මහතා මෙසේ අදහස් දැක්වීය. ‘පුස්තකාලයක ප්‍රධාන කාර්ය වන්නේ ප්‍රකාශයට පත්වන දැනුම එක්තැන් කරමින් එම දැනුම ලබා ගැනීමට සහ තොරතුරු ලබාගැනීමේ පිපාසයෙන් පෙළෙන පිරිස් උදෙසා ඒවා සංරක්ෂණය කරමින් නැවත පරිහරණයට ලබා දීමයි. එම කාර්යයට අදාළ කටයුතු මෙතෙක් කල් කොළඹ මහජන පුස්තකාලයේ සිදුවූයේ අතින් කෙරෙන කාර්යයන් හැටියටයි. නමුත් මේ වනවිට තාක්ෂණය භාවිතා කර ගැනීමත් සමග එය යාවත්කාලීන වෙමින් තිබෙනවා.’ යි කියමින් ඒ මහතා කතාවට මුල පිරුවේය. කොළඹ පුස්තකාලයට තාක්ෂණය එක් කරමින් ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියට අත්තිවාරම දැමෙනුයේ 2014 වසරේදීය. පුස්තකාලය මගින් ඉටු කරන ලද සේවාවන්හි කාර්යක්ෂමතාව නංවාලීම මෙහි අරමුණු අතර ප්‍රධාන විය. එසේම අන්තර්ජාලය ඔස්සේ කියවීමට නැඹුරුව සිටින පිරිස් වඩ වඩාත් කියවීම වෙනුවෙන් එකතු කර ගැනීමද මෙහි තවත් අරමුණකි. කොළඹ මහ නගර සභාවෙන් සැපයුණු මූල්‍යාධාරයෙන් සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ තාක්ෂණික උපදේශන සේවාවන්ගේ පිහිටෙන් මෙකී ව්‍යාපෘතියට පණ පෙවීම ආරම්භ කළ බවද ඔහු සඳහන්කර සිටියේය. සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ යන භාෂා තුන ප්‍රධානකොට ගනිමින් සමස්ත භාෂා 111 කින් මහජන පුස්තකාලයේ සහ උප පුස්තකාල ශාඛා 11කට අයත් දස ලක්ෂයක් පමණ වූ පොත්පත් ඇතුළුව අනෙකුත් දත්ත ‘කොහා’ නම් වූ මෘදුකාංගයකට ඇතුළත් කිරීම ආරම්භ වනුයේ ඒ අනුවය. ජංගම පුස්තකාලය හැරුණු කොට මහජන පුස්තකාලයේ ළමා, වැඩිහිටි, විමර්ශන සහ විශේෂ එකතු ආදී වූ අංශයන්හි වැඩි වශයෙන් කියවීමට භාජනය වී තිබෙන පොත්පත් 350,000 ක් පමණ අදාළ මෘදුකාංගය වෙත ඇතුළත් කිරීම මේ වනවිට අවසන් කොට හමාරය. මෘදුකාංගයකට පොත්වල දත්ත සේම අනෙකුත් පුස්තකාලය හා සම්බන්ධ දත්තයන් ඇතුළත් කිරීමෙන් පාඨකයාට ඇති ලාභ ප්‍රයෝජනය දැන සිටීමද වැදගත්ය. කොළඹ මහජන පුස්තකාලයට පැමිණෙන ඕනෑම අයෙක්ට කිසියම් පොතක් සොයා ගැනීමට යම් පරිශ්‍රමයක් කොට අදාළ පොත් රාක්කයන් සමගින් යම් වේලාවක් ගනුදෙනු කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. නමුත් මෙසේ මෘදුකාංගයක් වෙත පුස්තකාලයේ පොත් ඇතුළත් කිරීම තුළින් පුස්තකාලයට පැමිණෙන්නේ නැතිව වුවද, තමන්ට අවශ්‍ය පොත් පිළිබඳ තොරතුරු දැන ගැනීමේ අවස්ථාව සැලසෙයි. එහිදී පොත්පත් පිළිබඳ තොරතුරු අවශ්‍ය අය කළ යුත්තේ Pl.Colombo.Mc.gov.lk. වෙබ් අඩවියට පිවිසීමය. ඒ සඳහා පිවිස තමන්ට අවශ්‍ය පොතෙහි නම, කර්තෘවරයාගේ නම ආදී වූ පොතෙහි දත්තයන් නිවැරදිව ඇතුළත් කිරීමය. මෙය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම පරිශීලනය කළ හැකි මුත් සිංහල සහ දෙමළ භාෂා භාවිතාවේදී යුනිකෝඩ් අක්ෂර භාවිත කිරීම අනිවාර්යයෙන් කළ යුතුය. ඒත් සමගින් සඳහන් කරන ලද පොත මේ වන විට පුස්තකාලයේ පවතිනවාද, එම පොත පාඨකයෙක් විසින් රැගෙනගොස් තිබේද, යන කාරණයන් මෙන්ම එම පොත පුස්තකාලයේ කිනම් අංශයේ කුමන රාක්කයේ තිබේද යන කාරණය පවා මෙමගින් පාඨකයාට දැන ගැනීමට අස්ථාව සැලසෙයි. එසේම මහජන පුස්තකාලයේ කිනම් උප ශාඛාවෙන් එම පොත ලබාගත හැකිද යන්න පිළිබඳව පවා එමගින් දැනගත හැකි වෙයි. එම සේවාව පුස්තකාලයේ සාමාජිකයෙක් නොවන ලංකාවේ වෙසෙන ඕනෑම කෙනෙකුට වුව ලබාගත හැකිය. කෙසේ නමුත් මෙහිදී ‘ඔන්ලයින්’ සේවාව මගින් පුස්තකාලයේ පවතින පොතක් කල් තියා වෙන්කරවා ගැනීමට නම් පුස්තකාලයේ සාමාජිකත්වය සහිත ඊ හැඳුනුම්පතක් තිබිය යුතුමය. එම ඊ හැඳුනුම්පතක් වයස අවුරුදු 3 සිට 13 දක්වා ළමයින්ට සහ වයස අවුරුදු 13ට වැඩි වැඩිහිටි වශයෙන් නිකුත් කරනු ලබන අතර රුපියල් 160 ක් වැනි මිලකට එය පාඨකයින්ට ලබා ගත හැකිය. මීට ඉහතදී පුස්තකාලය තුළින් පොතක් රැගෙන යාමේදී සහ නැවත පොත භාර දීමේදී ඒ සඳහා වන කූපන් පත රැගෙන යාම අනිවාර්ය විය. නමුත් මෙහිදී පොතක් පුස්තකාලයෙන් පිටතට රැගෙන යාමේදී ඊ හැඳුනුම්පත රැගෙන යාමට නොහැකි වුවද, හැඳුනුම්පතේ දත්තයන් ලෙස දක්වා තිබෙන හැඳුනුම්පත් අංකය, නම, ලිපිනය ආදී වූ තොරතුරු ඉදිරිපත්කර එහි වන පාඨකයාගේ ඡායාරූපය බලා තොරතුරු සනාත කර ගැනීමෙන් අනතුරුව පොත් නිකුත් කිරීම සිදුවෙයි. ඊ හැඳුනුම්පතක් සහිතව පුස්තකාලයේ ගිණුමක් වෙන්වී තිබෙන සාමාජිකයෙක්ට පුස්තකාලයෙන් පිටතට තමන් ගෙනගොස් තමන් සන්තකයේ තියෙන පොත් සංඛ්‍යාව, මෙතෙක් කල් තමන් පුස්තකාලයෙන් රැගෙන විත් තිබෙන සියලුම පොත්, සිය ගිණුම ඔස්සේ මෙතෙක් කල් සෙවූ සියලු පොත් වර්ග සේම තමන් පොත් රැගෙන ඒම සම්බන්ධයෙන් යම් දඩයකට යටත්ව සිටී නම් එකී දඩ මුදල පවා මෙහිදී ගිණුමට යොමුවීම තුළින් දැන ගැනීමට අවස්ථාව උදාවනු ඇත. මීට අමතරව තමන් කියවන ලද පොතක් වෙනුවෙන් ගුණදොස් කීමට හෙවත් ‘කමෙන්ට්’ කිරීමට පවා මෙහිදී යම් අවස්ථාවක් සලසා දී තිබේ. ස්ථාපිත මෘදුකාංග පද්ධතිය ඔස්සේ යමෙක් පුස්තකාලයෙන් පොතක් රැගෙන යාමේදී ඊ හැඳුනුම්පතේ බා කෝඩ් මගින් සියලු කරුණු සිදුවෙන බැවින් ඒ සඳහා ගතවෙන කාලය සැලකිය යුතු මට්ටමින් අඩුව තිබෙයි. එසේම පොත්පත් භාර දීමේදී ස්වයං සේවාව ඔස්සේ සිදුකිරීමට පාඨකයාටම අවස්ථාව සලසා දී තිබීමද විශේෂය. බැහැර දෙන පුස්තකාලය හැරුණු විට මෙම තාක්ෂණික විපර්යාසය වාර සඟරා අංශය, ළමා පුස්තකාලය, විමර්ශන පුස්තකාලය සහ පුවත්පත් අංශයටද විහිදෙමින් තිබේ. ඒ අනුව වාර සඟරා අංශයට ඊ-සඟරා කියැවීමට ටැබ් යන්ත්‍ර ස්ථානපනය කර අවස්ථාව සලසා තිබෙයි. විමර්ශන පුස්තකාලයට දත්ත ලබා ගැනීමට ලැප්ටොප් පරිගණක කිහිපයක් එක් කොට තිබෙන අතර පුවත්පත් අංශයටද ඊ-පුවත්පත් පරිශීලනය කිරීම සඳහා පරිගණක කිහිපයක් වෙන්කොට තිබේ. මීට අමතරව ළමා පුස්තකාලයටද ටැබ් යන්ත්‍ර 12 ක් එක්කොට ඇත. එම ටැබ් යන්ත්‍ර සඳහා කුඩා ළමුන් වෙනුවෙන්ම නිර්මාණය වී තිබෙන විවිධ වර්ගයේ ක්‍රියාකාරකම් ඇතුළත් මෘදුකාංගයන් ඇතුළත් කොට ඇත. ලංකාවේ විශ්ව විද්‍යාල කිහිපයක පුස්තකාල සඳහා මෙම ක්‍රමය මීට ඉහතදී යොදාගෙන තිබුණි. කොළඹ පුස්තකාලයට අයත් සෙසු ශාඛා 11 න් කොටහේන ශාඛාවට මෙම ස්වයංක්‍රීය පද්ධති දැනටමත් දමා අවසන්ය. අලුත්කඩේ උසාවිය ආසන්නයේ ස්ථාපනය වී තිබෙන ශාඛාවට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය හා එක්ව අදාළ පද්ධති දැනට සූදානම් කරමින් පවතී. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය විසින් ව්‍යාපෘතිය ඵලදායී අයුරින් නිමාකළ අතර එය ජනතා අයිතියට පත් කිරීම ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සතියේ සිදුකෙරිණි. එම අවස්ථාව සඳහා කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය ඇතුළු ව්‍යාපෘතියට දායකත්වය සැපයූ විශාල පිරිසක් සහභාගී වී සිටියේය. ඉදිරියේදී සම්පූර්ණ පොතම ‘ඔන්ලයින්’ පහසුකම යටතේ කියවීමට හැකි වන පරිදි පද්ධතියක් සකස් කිරීමට ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය, පළාත් සභා සහ පළත් පාලන අමාත්‍යාංශය පිඹුරුපත් සකස්කරමින් සිටීමද විශේෂයකි.‘වරුණි ගඟබඩආරච්චි පුස්තකාලයාධිපතිනිය වශයෙන් පත්වුණාට පස්සේ ඇයට ලොකු වුවමණාවක් තිබුණා පුස්තකාලය පරිගණකගත කරන්න. ඇය මුල් කාලෙම ඒ සඳහා කටයුතු සොයා බැලුවත් මෘදුකාංගවල මිල අධික වූ නිසා වැඩේ ප්‍රමාද වුණා. ඊට පස්සේ අපිට දැනගන්න ලැබුණා ‘කොහා’ කියන මෘදුකාංගය ගැන. එම මෘදුකාංගය නොමිලයේ ඕනෑම අයෙක්ට ලබාගන්න පුළුවන් එකක්. ඒක ආධාරයෙන් පිරිවැය අවම කරගෙන අපිට මේ වැඩේ කරගන්න පහසු වුණා’ යි තාක්ෂණ සේවා පුස්තකාලයාධිපතිවරයා පවසා සිටියේය. එදින පුස්තකාල පරිශ්‍රයට පැමිණ සිටි වයස අවුරුදු 60 ක් පමණ වන වැඩිහිටි කාන්තාවකගෙන් මෙම තාක්ෂණික විපර්යාසය පිළිබඳව විමසුවෙමු. ‘මේක හොඳ වැඩක්. ගෙදර ඉඳන් පොත් ගැන බලන්න පුළුවන්ලුනේ. අපේ වයසත් එක්ක මේකට හුරු වෙන්න ටිකක් අමාරුවෙයි. ඒත් දරුවෙක්ට හරි කියලා ගෙදර ඉඳන් හොයලා බලලම එන්න පුළුවන්නෙ. ඒකෙන් කාලෙත් ඉතිරි වෙනවා.’ යැයි ඇය කීවාය. ලෝකය ඩිජිටල් මාවතේ බොහෝ දුරක ගොස් සිටියදී කොළඹ මහජන පුස්තකාලය සිය පාඨකයන්ට ලබාදෙන මෙම නව්‍යකරණ අද්දැකීම අප විසින් අගය කළ යුත්තකි. ගයාශාන් විතානආරච්චි ඡායාරූප - ප්‍රදීප් දඹරගේ
 

More News..