brand logo

කොළඹ ප්‍රා.ලේ.කාර්යාලය සේවකයින්ගේ සෞඛ්‍යය අවදානමේ

13 November 2020

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව අවදානම් තත්ත්වයක පවතින බැවින් ඒ ගැන සොයා නොබලන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව සංවර්ධන නිලධාරි සේවා සංගමය ප්‍රකාශ කරයි. එහි ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි පෙන්වා දෙන්නේ ඉහළ බලධාරීන් ආරක්ෂිතව නිල කාමරවල සිට මාධ්‍ය සංදර්ශන පවත්වමින් සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ජීවිත අවදානම පිළිබඳ නොසලකා සිටින බවය. කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මේ වනවිට ආසාදිතයන් පස්දෙනකු වාර්තා වී ඇතත් එහි කාර්ය මණ්ඩලයට පී.සී.ආර්. පරීක්ෂණ කඩිනමින් සිදු කිරීමට පියවර ගෙන නොමැති බවද හෙතෙම පවසයි. එම නිසා එම කාර්යාලයේ සියලුම නිලධාරීන්ට කඩිනම් පී.සී.ආර්. පරීක්ෂණ විධිමත් හා සෞඛ්‍යාරක්ෂිත ස්ථානයකදී සිදු කිරීමට පියවර ගන්නා ලෙසත්, සියලුම ක්ෂේත්‍ර නිලධාරීන් නිරෝධායනය කිරීමට පියවර ගන්නා ලෙසත් ප්‍රධාන ලේකම්වරයා බලධාරීන්ට දැනුම් දෙයි. ක්ෂේත්‍ර නිලධාරීන්ට මෙම අවදානම් තත්ත්වයට දිගින් දිගටම මුහුණ දීමට සිදු වුවහොත් අත්‍යවශ්‍ය මහජන සේවාවන් පවත්වාගෙන යාමට නොහැකි විය හැකි බවද චන්දන සූරියආරච්චි කොළඹ දිසාපති ප්‍රදීප් යසරත්නට ඊයේ (12 වැනිදා) ලිඛිතව දැනුම් දී තිබේ. චාමර පල්ලේගෙදර
 

More News..