brand logo

කොළඹ නගරයේ ඩොලර් මිලියන දහසක ආයෝජන දෙකක් පෙබරවාරියේ

11 January 2020

චීනයේ ශ්‍රැංග්‍රිලා සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ආයතනයක් විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 900ක සහ ආසියානු සංවර්ධන බැංකුව විසින් ඩොලර් මිලියන 100ක දැවැන්ත ආයෝජන ව්‍යාපෘති දෙකක් ලබන මාසයේදී (පෙබරවාරි) ආරම්භ කිරීමට නියමිත බව ආයෝජන මණ්ඩල වාර්තා සඳහන් කරයි. ශ්‍රැංග්‍රීලා සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ශැංග් දේපොළ වෙළෙඳාම් සමාගම විසින් ආරම්භ කිරීමට නියමිත ඩොලර් බිලියනකට ආසන්න ආයෝජනයේ පළමු පියවර ලෙස ඩොලර් මිලියන 500ක් මිශ්‍ර ව්‍යාපෘතියක් ලෙසින් (හෝටල්, නිවාස, වෙළෙඳ සංකීර්ණ) කොළඹ නගරය ආශ්‍රිතව ඇරඹේ. ඒ සඳහා ලේක්හවුස් වටරවුම අසල අක්කර 06ක භූමියක් 99 අවුරුදු බදු පදනම මත අදාළ සමාගමට ලබාදීමට නියමිතය. ශැංග් දේපොළ වෙළෙඳාම් සමාගම හොංකොංහි කෙරී ඉන්වෙස්මන්ට්ස් සමාගම සමග ඒකාබද්ධව සිදු කෙරෙන මෙම ආයෝජනයේ ආරම්භය වෙනුවෙන් මේ වනවිටත් ඩොලර් මිලියන 100ක මුදලක් මෙරට ආයෝජනය කර ඇතැයි ආයෝජන මණ්ඩලය සඳහන් කරයි. මේ අතර ආසියානු සංවර්ධන බැංකුව ණය සහන පදනම මත මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීම වෙනුවෙන් පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 100ක ආයෝජනයක් එක් කිරීමට නියමිතය. මේ යටතේ ව්‍යවසායකයන් වෙනුවෙන් ණය පහසුකම් ලබාදීමේ ආයතනයක් ස්ථාපනය කෙරෙන අතර ඒ වෙනුවෙන් මූලික අතුරු ආයෝජන ලෙස දැනටමත් ඩොලර් මිලියන 175ක මුදලක් මෙරට ආර්ථිකයට එක්කර ඇත. ආයෝජන මණ්ඩල වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම ආයෝජනය පිළිබඳ අවසන් ඉහළ කළමනාකරණ හමුව පෙබරවාරි 24 වැනිදා පැවැත්වෙන බවයි. නයන තරංග ගමගේ
 

More News..