brand logo

කොළඹ ඇවිත් වතුරවත් බොන එක ෂුවර් නෑ!

25 March 2019

අපේ රටේ හෝටල් හා ආහාරපාන අලෙවිසල් බොහෝමයක් අපිරිසුදුය යන්න බොහෝ දෙනකුගේ පිළිගැනීමය. පොඩි මිනිහා කන බොන තැන් ගැන ඇති ආකල්පය එසේ වුවද, බහුජාතික හෝටල්, තරු පන්තියේ හෝටල් හා ආහාර අලෙවිසැල් එසේ නොවන බව සැමගේ විශ්වාසයයි. එහෙත් පසුගිය දිනවල අන්තර්ජාලයේ සංසරණය වූ වීඩියෝවක දැක්වූයේ ජාත්‍යන්තර ආහාර අලෙවිසල් ජාලයක මෙරට පිහිටි ශාකාවක මුළුතැන්ගෙය අයත්කරගෙන සිටින මීයෙකි. මාරාන්තික ලෙඩ රෝගවලට හේතුවන මේ කුඩා අපිරිසුදු සත්ත්වයා නිදහසේ එම මුළුතැන්ගෙයි භාජනවලට නගිමින් පනිමින් සැරිසරන අන්දමක් එහි සටහන් වී තිබිණ. මෙම වීඩියෝ දසුන දුටු බොහෝ දෙනකුගේ ඇඟිල්ල දිගු වූයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හා පාරිභෝගික අධිකාරිය වෙතය. කොළඹ නගර සභාව අපිරිසුදු අවන්හල් වැටලීමේ දැවැන්ත මෙහෙයුමක් දියත් කරන්නේ මේ අතරය. කණ්ඩායම් 10 කට බෙදුණු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ බළකායක් ත්‍රිවිධ හමුදා මෙහෙයුමක් සේ කොළඹ කුරුඳුවත්ත වටලන්නට වූහ. කුරුඳුවත්ත ආශ්‍රිත සුපිරි අවන්හල් ඇතුළු බොරැල්ල, දෙමටගොඩ, බේස්ලයින්, පුංචිබොරැල්ල ප්‍රදේශවල අවන්හල් ඔවුන්ගේ ඉලක්කය බවට පත්ව තිබුණේය. ‘‘අපි එක පාරටම ආපනශාලාවලට ගියහම අවන්හල් හිමියන් කලබල වුණා. ඔවුන් එවැන්නක් බලාපොරොත්තු වුණේ නැහැ. සමහර මුදලාලිලා අප දැකපු ගමන් කුස්සියට දිව්වා. සමහරු බයවෙලා නිදහසට කරුණු කියවාගෙන කියවාගෙන ගියා. සමහර ආපනශාලාවල ආහාර ගබඩා කරලා තිබුණු තැනම සේවකයෝත් නිදා ගන්නවා. එළවලු කුණුවෙලා, කොත්තු රොටී කපපුවා අහුරපු බේසම් ඇඳන් යටින් මතු වුණා. ඉස්සරහ මිනිස්සු හොඳට කනවා, බොනවා, පිටිපස්සේ හතර අපායක්.’’ කොළඹ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක දේහාන් විතානගේ මේ කියන්නේ ඔවුන්ගේ මෙහෙයුමේ දී සියැසින් දුටු කාරණාය. කොළඹ කුරුඳුවත්තේ තත්ත්වය මෙලෙස නම් කොළඹ නගර සභා බල ප්‍රදේශයේ අනෙකුත් ප්‍රදේශවල තත්ත්වය හිතාගත හැකිය. දේහාන් විතානගේට අනුව ඇතැම් ආපනශාලාවල ආහාර ගබඩා කිරීම් නිසි අයුරින් සිදුවන්නේම නැත. උයාපු මසුයි, අමු මසුයි, එකම ශීතකරණයේ දාලා. එ්කෙම එළවළුත් දාලා. ඇහුවම කියනවා ඉඩ නැති නිසා එහෙම කළාලු. මේවා කුරුඳුවත්තේ ප්‍රධාන පෙළේ හෝටල්. උයපු මසුයි, අමු මසුයි එකට දාන්න මේ ගොල්ලෝ මෝඩයෝද?’’ පිසූ මස් ශීතකරණයේ අසුරනවා නම් අනිවාර්යයෙන්ම පිසූ දිනය සහ භාවිතයට ගන්නා දිනය එම ඇසුරුමේ සඳහන් කළ යුතුය. කෙසේවත් දින දෙකකට වඩා එම මස් ශීතකරණයේ තබා ගැනීමද තහනම් වෙයි. පිසු ආහාර වෙනමත්, අමු එළවළු වෙනමත්, පලතුරු වෙනමත් ගබඩා කළ යුතුය. එලෙස ගබඩා නොකළ බොහෝ දෙනෙක් මෙම පරීක්ෂාවේදී කොටුකර ගැනීමට හැකි විය. මෙම ආහාර පරීක්ෂාවේදී අවන්හල් 143 ක් පරීක්ෂාවට ලක් වූ අතර ඉන් 55 ක්ම අපිරිසුදු මට්ටමේය. එම අවන්හල්වලට මේ වන විට නඩු දැමීමට කටයුතු කර තිබේ. ‘‘කුරුඳුවත්තේ තරු පන්තියේ හෝටලයකුත් මේ අපිරිසුදු ගොඩට අහුවුණා. ඒ අය සෞඛ්‍යාරක්ෂිතව ආහාර ගබඩා කරලා තිබුණේ නැහැ.’’ මෙම පරීක්ෂාවේදී ඉහළ මට්මේ තරු පන්තියේ ආපනශාලා ද පරීක්ෂාවට ලක් කළ බව ප්‍රධාන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියයි. ඒ අනුව අත්අඩංගුවට ගත් ආහාර කිලෝග්‍රෑම් 400 ක් මෙහිදී විනාශ කිරීමටද පියවර ගැනිණ. කුරුඳුවත්තේ පරීක්ෂාවෙන් පසු මරදාන ප්‍රදේශයේද එවැනිම පරීක්ෂාවක් සිදු කෙරිණි. මේ ඇතැම් පරීක්ෂාවන්ට වීඩියෝ ගත කර රූපවාහිනි ප්‍රවෘත්තිවලින්ද ප්‍රචාරය විය. මේ නිසා දැන් එම ආපනශාලා වෙනදාට වඩා පිරිසුදු ලෙස ආහාර සකස් කරන්නේ යැයි කෙනකුට සිතිය හැකිය. නමුත් එය එසේ සිදුවන්නේ නැත. වැටලීම් කළ දිනට පසු දිනයේ සිට යළිත් පෙර පරිදිම එම ආපනශාලා පවත්වාගෙන යන බව දැකගත හැකි විය. ‘‘පාරිභෝගික අධිකාරියයි, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුයි කියන විදියට උඩට උඩුවියන්, බැඳගෙන, පයට පාවඩ දාගෙන කෑම උයන්න බැහැ. උයන කුස්සිය ජරා වෙනවා. ගෙදරක වුණත් එහෙමනේ. පී.එච්.අයි.ලා එනවා දඩ ගහනවා... යනවා... අපි අපේ වැඩේ කරගෙන යනවා.’’ කොළඹ ආමර්වීදියේ ප්‍රධාන බත් කඩයක මුදල් අයකැමි මේ කියමන සිහි ගන්වන්නේ උණ පුරුකේ දැමූවත් බලු වලිගේ අැද නෑරෙන බවය. මෙවැනි අවන්හල් හිමියන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට තබා පොලිසියටද බය නැත. මුදල් නොගෙවා කාකිසූට් එකේ බලයෙන් තමන්ගෙන් කෑම ගන්නා පොලිසිය වෙනුවෙන් ‘පොලිස් ප්ලේන්ටිය හා පොලිස් කොත්තුව’’ දෙන්නේ ඒ නිසාය. පාරිභෝගිකයන් බොන ප්ලේන්ටියේ ඉතිරි, එකතු කර හදන ප්ලේන්ටිය වන අතර පොලිස් කොත්තුව හදන්නේද ඒ අන්දමටය. ආපනශාලා කොතරම් පිරිසුදු අන්දමට කෑම බීම සකස් කළද ඒවා පිරිසුදු ආහාර යැයි සහතිකයක් දිය නොහැකිය. ඒ ආහාර සකස් කිරීමට ගන්නා අමුද්‍රව්‍ය ගැනද සහතිකයක් දිය නොහැකි බැවිනි. පාරිභෝගික අධිකාරිය පසුගිය දිනෙක කළ වැටලීමකදී අනාවරණය වූයේ ෆාම් ඔයිල් හා සත්ත්ව සම්වලින් නිපදවන තෙල් මිශ්‍ර කර හදන එළඟි තෙල් විශේෂයක් වෙළෙඳපොළේ ඇති බවය. එහෙත් ඒ ආයතනය කුමක්ද හෝ එම එළඟිතෙල් වර්ගය කුමක්දැයි පාරිභෝගික අධිකාරිය කියන්නේ නැත. එසේම ඒවා මේ වන විට වෙළෙඳපොළේ කොතරම් ව්‍යාප්තව තිබේදැයි දන්නේද නැත. ඇතැම් විටෙක ඊයේ රාත්‍රියට ඔබ ගත් ආහාරයටද මේ කියන එළිඟිතෙල් භාවිත කොට තිබෙන්නට පුළුවන. එවැනි දූෂිත තෙල් වලින් ආහාර අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නේද එවැනි ඒවාට හොඳ ඉල්ලුමක් ඇති බැවිනි. ‘‘මල්ලී... අපි එළඟිතෙල්, සෝස් ගන්නේ පිටකොටුවෙන්. මේව කවුරු කොහොම හදනවද කියලා අපි දන්නේ නැහැ. ඒව බලන එක අදාළ තැන්වල වැඩක්. ඔරිජිනල් බ්‍රෑන්ඩ්වලින් සෝස්, එළඟිතෙල්, බටර් දාලා රයිස් ගැහුවොත් එකක් රුපියල් 600 ක්, 700 ක් විතර වෙයි. ඕගොල්ලෝ සල්ලි දීලා ගන්නවද? නෑනේ. එහෙම ගන්න ඕගොල්ලන්ට පුළුවන්ද? බෑනේ.’’ දවසේ තුන්වේලටම ආහාර සපයන ව්‍යාපාරිකයෙක් මේ කියන්නේ තමන් ආහාර නිපදවන්නේද වෙළෙඳපොළ න්‍යාය අනුව බවය. මේ අනුව පෙනී යන්නේ යළි යළිත් වැටලීම් කළද පවතින තත්ත්වයේ වෙනසක් සිදු නොවනු ඇති බවය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියන්නේ වැටලීම් කළ ද ආපනශාලා වසා දැමීමට තමන්ට බලයක් නොමැති බවකි. ඒ සඳහා උසාවි නියෝග ලබා ගැනීමට අවම වශයෙන් වසර දෙකක්වත් ගතවේ. කළ හැකි එකම දේ වන්නේ උසාවියෙන් දඩයක් නියම කරවා ගැනීම පමණකි. දඩය ගෙවන ආපනශාලා හිමියා පසුදින සිට යළිත් තම ක්‍රියාන්විතයේය. ඒ අනුව බලන විට මේ ආපනශාලා වැටලීම්ද පොලිසිය කසිප්පු ඇල්ලීමට සමානය. සිදුවන එකම දේ ආණ්ඩුවට ආදායමක් ලැබීම පමණකි. මේ විදිහට ගියොත් කොළඹ ගිහින් එනකං වතුර බිබී තමයි ඉන්න වෙන්නේ යැයි යම් කෙනකුට සිතෙන්නට පුළුවන. නැතහොත් කොළඹදී මුදල් ගෙවා බෝතල් කළ වතුර බීවද කඩයකින් යමක් කෑම තරම්ම භයානක බව දන්නේ බොහෝ ටික දෙනෙකි. තුෂාර උඩවත්ත
 

More News..