brand logo

කොළඹින් අපරාධකරුවෝ 117 ක් බූස්සට

17 February 2020

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ කුඩු ජාවාරමුන්, ප්‍රබල පාතාලයන් ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් 117 කට අධික පිරිසක් බූස්ස බන්ධනාගාරයේ රැඳවීමට ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් තීරණයක් ගෙන ඇත. ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සමග වැඩ බලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී, නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ජයසිරි තෙන්නකෝන්, අඟුණුකොළපැලැස්ස හා බූස්ස බන්ධනාගාරවල නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹ ඇත. එම නිරීක්ෂණ චාරිකාවේ ප්‍රධානතම අරමුණ වී ඇත්තේ අඟුණකොළපැලැස්ස සහ බූස්ස බන්ධනාගාර දෙකෙන් විශේෂ ගණයේ අපරාධකරුවන් රඳවා තැබීමට සුදුසුම බන්ධනාගාරය තෝරා ගැනීමයි. නිරීක්ෂණය අවසානයේ පැවැති සාකච්ඡාවේදී බන්ධනාගාර ආරක්ෂාව පිළිබඳව කරුණු රැසක් ගැන අවධානය යොමුවී තිබේ. ඒ අනුව බූස්ස බන්ධනාගාරයේ දැනට තිබෙන අඩුපාඩු ඉක්මනින් සම්පූර්ණ කිරීමට උපදෙස් ලබාදී ඇත. දැනට බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 365 ක් පමණ සිටින අතර විශේෂ ගණයේ සිරකරුවන් ලෙස සැලකෙන විසිදෙදෙනකු ඒ අතරට ඇතුළත්ය. සිරකරුවන් දහසකට අධික ප්‍රමාණයක් රඳවා තැබීම සඳහා ඉඩ පහසුකම් ඇති බූස්ස බන්ධනාගාරයේ නවීන ආරක්ෂිත තාක්ෂණික උපකරණ සවි කිරීමටද මෙම සාකච්ඡාවේදී තීරණය වී ඇත. බූස්ස බන්ධනාගාරයට අනුයුක්තව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරක්ද ඉදිකිරීමට පියවර ගැනීමට ආරක්ෂක ලේකම්වරයා උපදෙස් ලබාදී තිබේ. බූස්ස බන්ධනාගාරයේ අධිකාරී ලෙස පුලින කරුණාරත්න කටයුතු කරයි.   හේමන්ත ලියනපතිරණ
 

More News..