brand logo

කොළඹයා ගෙට වුණා නාවන නැකත තාම නෑ

14 November 2020

කොරෝනා දෙවැනි රැල්ල මිනුවන්ගොඩින් ඇරැඹුණත් දැන් එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ ​කොළඹ මහ නගර සභා සීමාවේ ජීවත් වන ජනතාවටය. මේ වන විට නගර සභා සීමාවේ ඇති මහල් නිවාස සංකීර්ණ පහ හයක්ම ලොක් ඩවුන් කරලාය. පොලිස්බල ප්‍රදේශ තුන හතරක්ම හුදකලා කරලාය. ඒ අතරේ දීපවාලි උත්සවයට මේ සති අන්තයේ ගම් රටවල් බලා යෑමට සිටි දෙමළ වැසියන් දහස් ගණනක් කොළඹ හිරවෙලාය. ඒ බස්නාහිර පළාතෙන් පිටවීම හෙට උදේ දක්වා සම්පූර්ණයෙන් තහනම් කර ඇති බැවිනි. කොරෝනාව හේතුවෙන් අපහසුතාවට පත්ව සිටින කොළඹ නගර වැසියන් අතරේ කොල්ලුපිටියේ දිවි ගෙවන අපේ ලියුම්කාරිය ද සිටින්නීය. මේ ඇය ඇසින් දුටු දේය. කනින් ඇසූ දේය. කොල්ලුපිටියේ දැන් පදිංචිව සිටියද හඟුරන්කෙත උපන් මට දීපවාලිය සිංහල අලුත් අවුරුද්ද සේ සමීප අත්දැකීමකි. කොළඹ ඇතුළු තදාසන්න නගරවල රැකියා කරන අපේ ගම අවට සිටින දෙමළ වැසියෝ දීපවාලියට දින දෙක තුනකට පෙර ගමට එන්නේ කොළඹ සිට රාත්‍රියේ එන වලපනේ බසයේය. පදියපැලැල්ල, පූඩළුඔය හැටන්, ඩයගම, නුවරඑළිය ඇතුළු වතුකරයට යන බස් රථ පිරෙන්නේ කොළඹ රැකියාව කර ගමට යන දෙමළ වැසියන්ගෙනි. පිටකොටුවේ සිල්ලර තොග වෙළෙඳසැල් මෙන්ම ප්‍රධාන වීදියේ මෙන්ම හරස් වීදිවල තිබෙන රෙදි කඩවල ද බහුතරයක් සේවක සේවිකාවන්ගේ ගම් පළාත වතුකරයය. දැන් කොළඹ හතේ මහා මන්දිරවල බේබිලා බලා ගන්නා ආයඅම්මලාද කුස්සි අම්මලාගේ උයන් වතු බලා ගන්නා මුරකරුවන්ගේද ගම් වතුකරයය. දැන් කොළඹ ඉදිකිරීම් වැඩ බිම්වලත් රස්සාව කරන බො​හෝමයක් වතුකරයෙන් පැමිණි අයයි. තේ ගස්වලට කඹුරනවාට වඩා වැඩබිම්වල වැඩ කිරීම ඔවුන්ගේ පර්ස් එකට වාසිය. මේ සියල්ලෝම ගමේ යන්නේ හදිසි මරණයට හෝ මඟුලකට ඇරෙන්ට අවුරුද්දට දීපවාලි හෝ තෛයිපොංගල්වලට පමණි. අන්සෑම දිනම ඔවුන්ගේ දිවි ගෙවෙන්නේ තමන් රස්සාව කරන කඩේය. බැල මෙහෙවරකම් කරන මන්දිරවලය. එසේ නැත්නම් හුණ්ඩුවක් තරම් බෝඩිංවලය. පසුගියද බදාදා දින කොළඹට ඇදහැළුණු වැහි අස්සේ දමිළ තරුණයෝ තිදෙනක් කොල්ලුපිටිය ප්‍රදේශයේ සිට කොටුවට යෑමට අතින් කටින් බඩු මළු එල්ලගෙන ත්‍රිරෝද රථයක් සොයමින් සිටියහ. මදක් කිට්ටු කර ඇසූ විට ඔවුන් කීවේ කොළඹ වැඩබිමක වැඩ කළ බවත් හැටන්වල පිහිටි ගෙදර යෑමට කොටුවට යන්නට යන බවත්ය. ඔවුන් තිදෙනාම අත ටියුලිප් වර්ගයේ බෑග් කිහිපයයකි. ඊට අමතර ගමන් බෑගයන්ය. ගෙදරට ගත් ඉලෙක්ට්‍රික් බඩුවක්ද අයෙකුගේ අතේය. අපහසුවෙන් නවතාගත් ත්‍රිරෝද රථයක නැගුණ ඔවුහු තිදෙනාම කොටුවට පිටත්ව ගියහ. මෙය සිදු වී පැයක් ගතවන්න ප්‍රථම මාධ්‍ය නිවේදනයක් නිකුත් වූවේය. ඉන් කියැවූයේ ගෙවී ගිය බදාදා රාත්‍රියෙන් පසු කිසිවෙකුට හෝ බස්නාහිර පළාතෙන් පිටවිය නොහැකි බවකි. මට සිහි වූයේ අර තරුණයින් තිදෙනාය. දීපවාලියට ගෙදර අයට තෑගි බෝග අතින් කටින් එල්ලාගෙන ගමේ යන්නට ගිය ඔවුනට සිදුවන්නට ඇත්තේ කුමක්දැයි කියා මට සිතුණි. කොටුවේ කරක් ගසා ගෙදර ඇත්තන්ට බඩු මුට්ටු එක්රැස් කරගත් කොටුවේ තොග කඩයක සේවය කරන තිස්පස් හැවිරිදි සෙල්වරාජා ද ගමේ යන්නට නොහැකිව ලත වෙමින් සිටියේය. ‘‘මගේ ගම නුවරඑළියේ. කොරෝනා මුල් කාලේ රට වහලා ඇරියට පස්සේ කඩේට ආවම ආයේ ගෙදර ගියේ නැහැ. දීපවාලියට එනවා කියලා හිතාගෙන හිටියා. ගෙදර හැමෝටම ඇඳුම් බඩු මුට්ටු ඔක්කොම ගත්තා. ගිය අවුරුද්දේ දීපවාලි සමරන්න බැරි වුණා කරදරයක් වුණ හින්දා. අපිට අවුරුදුත් නැතිව ගියා. දැන් දීපවාලියට යන්නත් නැහැ. මම කොහොම හරි ගෙදර යන්න බලනවා. ගෙදර ගිහින් දවස් දාහතරක් නිරෝධානය වුණත් කමක් නැහැ.’’ සෙල්වරාජා මෙන්ම දමිළ ජාතිකයන් බොහෝ දෙනකුගේ සිත තුළ මේ දිනවල ඇතිව තිබෙන ගැටලුව මෙයයි. ඒ ඔවුනට දීපවාලියට ගෙදර යෑමට නොහැකි වීමය. කොළඹ නවාතැන්පළවල්වල මේ දිනවල වැඩි වශයෙන් නවාතැන් ගෙන සිටින්නේ කොළඹ ඉදිරිකිරීම්වල සේවයේ නිරතව සිටින කම්කරුවෝය. සවස හය හත වන විට ඉන්දියානු, චීන ජාතික කම්කරුවන් සුපර් මාකට් බෑගයක් කරේ එල්ලාගෙන ගාලු මුවදොර සිට කොල්ලුපිටිය අවට පිහිටි නවාතැන්පළවල්වලට පයින් ගමන් කරනු දැකීම සුලභ දසුනකි. චීන ජාතික කම්කරුවන්ට බොහෝ විට ඔවුනට ආවේණික කෑම බීම ඔවුන් ළඟටම සැපයෙයි. නමුත් ඉන්දියානු ජාතික කම්කරුවෝ අසල පිහිටි කෑම කඩවලින් කෑම ගනිති. පසුගිය දිනවල බස්නාහිර පළාත වැසීමත් සමග කොල්ලුපිටිය අවට ප්‍රධාන නොවන මාර්ගවල පිහිටි කෑම කඩ අසල ඇඳිරිනීතිය අස්සේද මොවුන් සිටීම සුලභ දසුනක් වූවේය. ඒ මන්දයත් භාෂාව හරිහැට නොදැන සිටි මොවුනට ආහාර පානයන් මිලදී ගැනීමට තැනක් නොතිබුණු බැවිනි. ඇතැමුන් කුඩා හෝටල්වලින් කෑම ඇනවුම් කර තුන් වේලටම ලබා ගත්හ. වෙනත් ප්‍රදේශවලට නම් නිරෝධායන ඇඳිරි නීතිය දැමූ කල චූන් පාන් වෑන් රථ මෙන්ම අත්‍යවශ්‍ය ආහාර පාන රැගත් ලොරි රථ නිතර දෙවේලේ එහා මෙහා ගියේය. නමුත් අප ජීවත්වන කොල්ලුපිටිය අවට ප්‍රදේශයේ එළවළු ලොරියක් තබා චූන්පාන් වාහනයක් ගිය කාලයක් මතක නැත. මල්ලක අඹ, ඇඹරැල්ලා දමාගෙන විකුණා එදා වේල සොයා ගන්නා වෙළෙන්දෝ සිටින නමුත් මෙවර ඔවුනද නොවීය. පෙර නිරෝධායන ඇඳිරි නීති දැමූ අවස්ථාවේ විවිධ ආහාර පාන සැපයූ ජංගම සැපයුම්කරුවන්ට දුරකතනයෙන් කතා කළද ඔවුන් කියා සිටියේ තමන්ට තවම මෙවර ඇඳිරි නීති අවසර පත් නොලැබූ බවකි. අවසානයේ බොහෝ දෙනකු ක්‍රියා කළේ ඉතා අමාරුවෙන් සුපිරි වෙළෙඳසලක් සම්බන්ධ කරගනිමින් අත්‍යවශ්‍ය ආහාර පාන ටික ගෙදරට ගෙන්වා ගැනීමය. ඒත් ඒවා ලැබුණෙත් ඇනවුම් කර දින දෙකකට පමණ පසුය. නමුත් සීනි ග්‍රෑම් සියයක්, සහල් කිලෝව ගන්නා අඩු ආදායම් ලාභීන්ට යන එන මං නැතිව ගියේය. ග්‍රෑම් සියයට දෙසියයට සුපිරි වෙළෙඳසල්වලින් බෙදා හරින්නේ නැත. නමුත් සුපිරි වෙළෙඳසල්වල නිත්‍ය පාරිභෝගිකයන්ට නම් එසේ සුළු සුළු ප්‍රමාණද බෙදා හැරීමට ඔවුහු සැදී පැහැදී සිටියෝය. ඇතැම් සුපිරි තට්ටු නිවාස සංකීර්ණවල හිටියෝ මේ දිනවල අනුගමනය කළේ සුපිරිම පිළිවෙතකි. ඔවුහු තරු පන්තියේ හෝටල් හරහා කෑම බෙදා හරින ප්‍රවාහන සේවාවන්ට සම්බන්ධ වෙමින් රස කෑම බීම වෙනදාට වඩා හොඳින් ගෙන්වා ගත්හ. ඊට අමතරව සුපිරි වෙළෙඳ ජාලාවල ජංගම රථ ඔවුන්ගේ අභියසටම ගෙන්වා ගත්තේය. ඔවුනට නම් අඩුපාඩුවක් නොදැනුනා තරම්ය. ඔවුනට සිදු වූ එකම අඩුව වූයේ හවසට හවසට දමමින් සිටි සාද සීමා වීම පමණි. කැසිනෝ හා ක්ලබ් වැසීම නිසා උදේ පාන්දර වනතුරු කමින් බොමින් නටමින් විනෝද වන්නට බැරි වීම පමණි. නමුත් ඉන් කොළඹ නගර වාසීන්ට නම් සෙතක් වූවේය. මහ රෑත් ඝෝෂාකාරී වන කොළඹ පාරවල්වල මේ දිනවල රාත්‍රියේ ඇල්පෙන්නත් වැටුණත් ඒ සද්දය ඇසෙන්නේය. නිරෝධායන ඇඳිරි නීතිය දමා සියල්ලෝම ආරක්ෂාකාරීව ගෙට කිරීමට හැදුවද උදේට හවසට කොළඹ ඇවිදින මංතීරුවල ව්‍යායාමයේ නිරත වන්නන් නම් ගෙට කිරීමට නොහැකි වූවේය. ඔවුහු නම් සුපුරුදු ලෙසම උදේ හය, හත වෙද්දිත් සවස පහ හය වන විටත් සුපුරුදු ලෙසම ඇවිදීමේ හෝ දිවීමේ නිරත වූහ. නති තනිවම මෙසේ ඔවුන් ව්‍යායාමයේ නිරත වීම හේතුවෙන් පොලිසියද එතරම් තැකීමක් නොකළේය. නමුත් එළිපෙහෙළියට යෑමට බිය වූ ඇතැමෙක් තමන්ට හිමි අඩි දහයක හෝ සීමාවේ එහාට මෙහාට පැය ගණනක් ඇවිද්දෝය. දින දහයකට පමණ පසුව නිරෝධායන ඇඳිරි නීතිය බස්නාහිර පළාතෙන් ඉවත් කළද ඇතැමුන් ක්‍රියා කළේ තමන්ටම ඇඳිරි නීතිය දමා ගත් ආකාරයටයි. ඇතැමෙකු එළිපෙහෙළියට ගියේ අත්‍යවශ්‍ය කරුණකට පමණි. ඇඳිරි නීතිය ඉවත් කර දෙදිනකට පසුව නිරෝධායන ඇඳිරි නීතිය නොවුණ බස්නාහිර පළාතෙන් පිට වීමට සීමා පැනවූවේය. මේත් සමගම නැවතත් ඇඳිරි නීතිය දමාවි යැයි සිතු බොහෝ දෙනෙක් බ්‍රහස්පතින්දා උදෑසන සිටම තමන්ට අවශ්‍ය බඩු බාහිරාදිය මිලදී ගැනීමට වෙළෙඳසල් වෙතට ගියහ. පිටකොටුවේ ඇතැම් ස්ථාන වසා දමා මැනින් වෙළෙඳපොළද වසා තිබූයෙන් සුපිරි වෙළෙඳසල්වලට පිරිස් ගියෝය. සුපිරි වෙළෙඳසල්වල හාල් මලු කිහිපයක් ඇත. ඒවා ඉතා ඉහළ මිලගණන් යටතේ විකිණෙන හාල් වර්ගයි. අනෙකුත් බඩු භාණ්ඩ නම් ඕනෑ තරම්ය. තවත් විශේෂත්වයක් තිබුණි. මාළු අලෙවි කරන ස්ථානය වෙනදාට නම් ඉතා ජනාකීර්ණය. නමුත් මේ දිනවල මිලදී ගැනීමට මාළු කියා මැස්සෙක්වත් නැත. මාළු කන්නේ නැති මිනිසුන් මේ දිනවල කන්නේ කරවල හාල් මැස්සන්ය. ඒවා දමා තිබෙන බක්කි හිස් වනුයේ බලා සිටියදීය. බිත්තරවලට ද මේ දිනවල ඉතා ඉහළ ඉල්ලුමක් ඇත්තේය. එසේම ඇතැමෙක් සැමන් ටින් හත අට මිලදී ගත්තෝය. ලියුම්කාරිය සුපිරි වෙළෙඳසලක බඩු ගන්නා අතර තුර එම වෙළෙඳසලට බඩු මිලදී ගැනීමට පාරිභෝගිකයෝ දෙදෙනක් පැමිණියහ. ඔවුනද පැමිණියේ අනෙකුත් පාරිභෝගිකයන් මෙන්ම සියලුම සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමිනි. නමුත් ඔවුන් දෙස සුපිරි යැයි පැවසෙන පාරිභෝගිකයන් බලා සිටියේ අමුතු සතුන් දෙස බලන්නාක් මෙනි. ඒ ඒ ඔවුන් නගර පිරිසුදු කරනු ලබන ආයතනයක සේවකයන් දෙදෙනකු වූ බැවින්ය. ඒ ඔවුන් එම ආයතනයේ ඔවුන්ට හිමි නිල ඇඳුමින් සැරසී සිටි නිසාය. බොහෝ දෙනකුට ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සැක කරන්නට ඇත. එවන් ඇසකින් බැලුවද නමුත් ඔවුහුද අප මෙන්ම පාරිභෝගියෝ වෙති. ඔවුන් තමන්ට අවශ්‍ය බඩු භාණ්ඩ මිලදී ගත්තේ එකී අයගේ බැලුම් තැකීමත් නොකරමින්ය. ලියුම්කාරිය බඩු මිලදී ගැනීමට ගිය සුපිරි වෙළෙඳ සැලෙහි කිසි දිනෙක නොතිබූ විශේෂ භාණ්ඩයක් විකිණීමට තමා තිබුණේය. ඒ අමු කහය. කොළඹ නෝනලා මේවායින් කහ හදන්නේ කෙසේදැයි විමසමින් මිලදී ගත්තේය. මිල නම් තරමක් ඉහළය. මටද එක් කාන්තාවකට අමු කහවලින් කහ කුඩු හදන ආකාරය කියා දීමටද සිදු විය. වෙනදාට ගමේ ගොඩේ අලෙවි වූ අමු කහ අද සුපිරි වෙළෙඳපොළ ආක්‍රමණය කරන සුපිරි භාණ්ඩයක් වී තිබුණි. කොළඹ ජීවත් වෙමින් ත්‍රිරෝද රථ රැකියාවේ නිරත වන බොහෝ දෙනකුද මේ දිනවල අනුගමනය කරන්නේ වෙනස්ම පිළිවෙතකි. අපගේ හිතවතියක් මඳ දුරක් යාම සඳහා වෙනදා මෙන්ම ත්‍රිරෝද රථයකට අත දැම්මාය. ත්‍රිරෝද රථය නතර කෙරුණ නමුත් අපේ හිතවතිය ගොඩ කරගත්තේ නැත. ඔහු කියා සිටියේ ‘‘මිස් මේ දවස්වල අපි ත්‍රීවිල් එකට නග්ග ගන්නේ දන්න කියන අය විතරයි. වෙන ත්‍රීවිල් එකක් බලනවාද?’’ කියාය. ඇය දන්න අයට කො​ෙරා්නා හැදෙන්නේ නැද්ද කියා අපේ හිතවතිය ඔහුගෙන් ඇසීමට අමතක නොකළාය. ඔහු සිනාසී යන්නට ගියේය. කොරෝනා වයිරසය මෙරටට පැමිණි මුල් වකවානුවේදී තරම් ජනතාව එයට අද වන විට බිය නොවුණ ද දූ දරුවන් පිටරටවල්වල වාසය කරන කොළඹ නගරයේ තනිවම ජීවත් වන අම්මලා තාත්තලා නම් මදක් බියෙන් කටයුතු කළහ. ඒ හදිසියකදී හෝ තමන්ට කියා කාත් කවුරුත් නොමැති බැවිණි. අප දන්නා එවැනි තනිවම ජීවත් වන මවක් වෙනදා නිවසේ ඉදිරිපස දොර ඇර තැබුවද මේ දිනවල දොර නිකමටවත් අරින්නේ නැත. ඒ ඇයි දැයි ඇසූ විට ඇය කීවේ ‘‘කොරෝනා හැදුන කෙනෙක් ගෙට රිංගුවොත් තනි මම මොනවා කරන්නද’’ කියාය. මේ දිනවල ගෙවල්වලට හොරු පනිනවාටත් වඩා කොරෝනා රෝගියෙක් ගෙට එතැයි කියා ඇතැම්හු බියෙන් සිටිති. හැමදාම වාගේ ලංකාවට ලැබෙන බොහෝ දේ මුලින්ම භුක්ති විඳින්නේ කොළඹ ජනතාවය. කොරෝනාද එසේය. ගමේ අයට වඩා කොළඹ ජනයා මේ දිනවල එය යහමින් භුක්ති විඳිමින් සිටින්නෝය.   ශිරෝමි රත්නායක
 

More News..