brand logo

කොළඹට බිත්තර බෙදන අපූරු ජංගම වෙළෙන්දා

04 November 2020

බස්නාහිර පළාතේ මේ දිනවල ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් නිවෙස්වලට වී සිටින සියලු දෙනාටම පාහේ එදිනෙදා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට සිදුවී ඇත්තේ ජංගම වෙළෙදන්ගෙනි. මේ වෙළෙඳුන් අතරින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම රැසක් අනුගමනය කරමින් කොළඹ නගරයේ යතුරු පැදියකින් බිත්තර වෙළෙඳාමේ යෙදෙන වෙළෙන්දෙකු පිළිබඳ මේ දිනවල සමාජ මාධ්‍යවල විශාල ලෙස කතා බහට ලක්ව ඇත. ඔහු සිය බිත්තර සඳහා පාරිභෝගිකයාගෙන් මුදල් ලබා ගැනීමේදී මීටර් එකහමාරකට වැඩි දුරස්ථභාවයක් පවත්වාගෙන යන අතර ඒ සඳහා ඔහු උපයෝගී කරගන්නේ ප්ලාස්ටික් භාජන දෙකක එක් කෙළවරක සවි කරන ලද මීටර් තුන්කාලක් පමණ දිගැති පොල්ලකි. අවශ්‍ය බිත්තර ප්‍රමාණය දැන්වූ පසු ඔහු පොල්ල සහිත ප්ලාස්ටික් භාජනයට බිත්තර දමා පාරිභෝගිකයාට ලබාදෙයි. ඒ සඳහා මුදල් ලබා ගැනීම සේම ඉතිරි මුදල් ලබාදීම සිදු කරන්නේද එයාකාරයෙනි. එමෙන්ම ඔහු සිය වෙළෙඳාම් කටයුතුවලදී අත් වැසුම් භාවිතා කිරීමද විශේෂත්වයකි. ඔහුගේ යතුරු පැදියේ සුවිශේෂී අංග කීපයක් දැකගත හැකිය. අත සේදීම සඳහා කුඩා වතුර ටැංකියක්, අත පිස්නාවක්, මුදල් බහාලීම සඳහා භාජනයක් මේ කුඩා යතුරු පැදියේ සවිකර ඇත. එමෙන්ම නිරෝධායන ඇඳිරි නීතිය පැවැත්වෙන කාලය තුළ ජංගම වෙළෙදාම සඳහා නිකුත් කරන ලද අවසර පත්‍රයද ඔහු සිය යතුරු පැදියේ ප්‍රදර්ශනය කර තිබේ. බිත්තර අලෙවි කර මුදල් ලබා ගැනීමෙන් අනතුරුව සෑම අවස්ථාවකම ඔහු අත් සේදීමද සිදු කරන්නේය. මුව ආවරණයක් පැලඳි ඇතැම් වෙළෙඳුන් එය අත ගාමින් ආහාර ද්‍රව්‍ය අලෙවි කරන මෙවන් කාලයක මෙම බිත්තර වෙළෙන්දා සමාජයට සපයන්නේ මහත් ආදර්ශයකි. සාලිය කුමාර ගුණසේකර
 

More News..