brand logo

"කොවිඩ් - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල" නමින් නව අරමුදලක්

23 March 2020

කොවිඩ් - 19 වසංගත තත්ත්වය නිසා ශ්‍රී ලංකාව මුහුණදී සිටින කෙටි හා මධ්‍ය කාලීන අභියෝගයන්ට සාර්ථකව මුහුණදීම සඳහා "කොවිඩ් - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල" නමින් නව අරමුදලක් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හඳුන්වා දී තිබේ. එහි ප්‍රධාන ගිණුම ලංකා බැංකුවේ ආයතනික ශාඛාවේ (Corporate Branch) විවෘත කෙරුණු අතර ආරම්භක තැන්පතුව ලෙසින් රුපියල් මිලියන සියයක මුදලක් ජනාධිපති අරමුදලින් ඊට බැර කෙරිණි. දෙස් විදෙස් පුද්ගලයින්ට මෙන්ම ආයතනවලටද මෙම ගිණුමට තම පරිත්‍යාග ලබාදිය හැකියි. නිත්‍යානුකූල ගිණුම් හරහා ඊට සිදුකෙරෙන පරිත්‍යාග බදුවලින් හා හුවමාරු සීමාවන්ගෙන් නිදහස් කර තිබීම විශේෂත්වයකි. ලංකා බැංකු ආයතනික ශාඛාවේ 85737373 අංකය දරණ මෙම ගිණුමට පරිත්‍යාගශීලින්ට ඒ අනුව මුදල් බැර කිරීමට අවස්ථාව සලසා දී ඇත. ජාතිය මුහුණ දී සිටින වත්මන් අභියෝගයට මෙතෙක් මානූෂියත්වය පෙරදැරිව සහෝදරත්වයෙන් එකට එක්ව කටයුතු කළ ආකාරයෙන්ම ඉදිරියටත් කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටියි. මෙම ගිණුම සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන බව අවධාරණය කරන ජනාධිපතිවරයා කොවිඩ් - 19 වසංගත තත්ත්වයට මෙතෙක් සාර්ථකව මුහුණදුන් පරිද්දෙන්ම තවදුරටත් සාර්ථකව මුහුණදෙන බව අවධාරණය කර සිටියේය.
 

More News..