brand logo

කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත් ක්ෂුද්‍ර ව්‍යාපාර සඳහා කොමර්ෂල් බැංකුව තවත් විශේෂ ණය යෝජනා ක්‍රමයක් අරඹයි

22 June 2020

කොවිඩ් වසංගතයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම සඳහා තම කැපවීම සහ සහයෝගය තවදුරටත් පෙන්නුම් කරමින් කොමර්ෂල් බැංකුව කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත්ව තිබෙන මෙරට ක්ෂුද්‍ර ව්‍යාපාර නැවතත් නගා සිටුවීම සඳහා බැංකුව විසින් අරමුදල් සපයන තවත් ණය වැඩසටහනක් ආරම්භ කර තිබේ. පසුගිය මාසයක කාලයක් ඇතුළත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව විසින් දියත් කළ බැංකුව අරමුදල් සපයන දෙවන ණය යෝජනා ක්‍රමය නම්කර තිබෙන්නේ ‘දිරිශක්ති කොවිඩ්-19 සහාය ණය’ ලෙසයි. රුපියල් මිලියන 15 කට අඩු වාර්ෂික පිරිවැටුමක් සහිත ක්ෂුද්‍ර ව්‍යාපාරවලට කාරක ප්‍රාග්ධන අවශ්‍යතා ලබාදීමට සහ නැවතත් ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් මෙම ණය යෝජනා ක්‍රමය ආරම්භ කර ඇත. මෙම ණය උපරිම වශයෙන් මාස 24 ක් සඳහා 9% ක වාර්ෂික පොලී අනුපාතයකට ලබාගත හැකිය. ක්ෂුද්‍ර ව්‍යාපාරිකයින් සඳහා මෙම ණය යෝජනා ක්‍රමය ආරම්භ කිරීම පිළිබඳව කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, සනත් මනතුංග මහතා මෙසේ අදහස් දැක්වීය. ‘කොවිඩ් වසංගතයෙන් වඩාත්ම පීඩාවට ලක්වූයේ මෙම කුඩා ව්‍යාපාරයි. මෙම ණය යෝජනා ක්‍රමය මගින් අපි බලාපොරොත්තු වන්නේ බිම් මට්ටමේ තිබෙන මෙම ව්‍යාපාර නැවතත් නගා සිටුවීමටයි. කොවිඩ්-19 වසංගතය නිසා ඇතිවූ අභියෝග ජයගැනීම සඳහා ක්ෂුද්‍ර ව්‍යාපාරිකයින්ට අවශ්‍ය සහයෝගය ලබාදෙමින් ඔවුන්ගේ ජීවනෝපායන් සුරක්ෂිත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.’ ඕනෑම ව්‍යාපාරයක යෙදී සිටින ක්ෂුද්‍ර සහ කුඩා ව්‍යාපාරිකයින් වන කොමර්ෂල් බැංකුවේ ‘දිවිසරු’ ඉතිරි කිරීමේ ගිණුම් හිමියන්ට ‘දිරිශක්ති’ ණය ලබාගැනීමට හැකියාව තිබෙන අතර එහිදී ඔවුන් 2020 මාර්තු 25 වනදාට පෙර ඕනෑම මූල්‍ය ආයතනයකින් ලබාගත් ණය මුදලක් පැහැර නොහැර තිබිය යුතුය. මෙහිදී, සිය ව්‍යාපාරික මෙහෙයුම් නැවතත් ආරම්භ කිරීම සඳහා තනි පුද්ගලයන්ට මෙන්ම ව්‍යාපාර වලටද මෙම ණය යෝජනා ක්‍රමය සඳහා අයදුම්කළ හැකිබව බැංකුව සඳහන් කරයි.
 

More News..