brand logo

කොවිඩ් 19 වයිරසය පැතිරීම ගැන චීන තානාපතිවරයාගෙන් පැහැදිලි කිරීමක්

12 February 2020

පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා ඇතුළු නියෝජිත පිරිසක් චීන තානාපති චෙන්ංග් ෂියුආන් මහතා හමුවූ අතර කොවිඩ් -19 වයිරසයේ පැතිරීම හා එරට වැසියන් රෝගය හමුවේ මුහුණ දෙන ආකාරය ගැන තානාපතිවරයා මෙහි දී දීර්ඝ කරුණු දැක්වීමක් කර තිබේ. විපතට පත් පවුල් වලට කණගාටුව පළ කළ පාත්ෆයින්ඩර් පදනමේ නියෝජිතයෝ රෝගීන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ අතර විපත් මැඩ ධෛර්යයෙන් නැගී සිටින්නට චීන සමූහාණ්ඩුවට ශක්තිය ඇති බවට විශ්වාසය පළ කළේය. "මිතුරන් අවශ්‍ය, මිතුරන් අවශ්‍යම අවස්ථාවේ දී " බව මෙහි දී ප්‍රකාශ කළ චීන තානාපති ෂියුආන් මහතා ශ්‍රී ලංකාවේ ජනතාවගේ කෘතවේදීත්වය ගැන ස්තුතිය පළ කර ඇත. චීන ආණ්ඩුව කොවිඩ් - 19 වයිරසය පාලනය කරනු සදහා ගෙන ඇති පියවර පැහැදිලි කළ තානාපතිවරයා වුහාන් ප්‍රාන්තය සීල් කර පැතිරවීම නතර කරන ලද අතර ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සහයෝගයෙන් ජනතාව දැනුමවත්කර වැලකීම හා වලක්වාගැනීම කෙරෙහි පියවර ගැනීමට සමත් වූ බව ද දක්වා ඇත. වයිරස බලපෑම උපරිම මටට්මට පැමිණ ඇති අතර ඉදිරි දිනවල ක්‍රමානුකූලව රෝගීන් අඩුවනු ඇති බව ද මෙහි දී තානාපතිවරයා ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලාංකික සිසු සිසුවියන් විශාල ප්‍රමාණයක් චීනයේ වුහාන් ප්‍රාන්තයේ උසස් අධ්‍යාපනය ලබන අතර ඇමරිකාව, ජපානය හා දකුණු කොරියාව හැරුණවිට මෙරට සිසුන්ට ඉගෙනගැනීම සදහා වැඩිම පහසුකම් සපයන රට චීනය බව මෙහි දී මිලින්ද මොරගොඩ මහතා පෙන්වා දී ඇත. වයිරසය පැතිරෙන වහා කණ්ඩායම් වශයෙන් ශ්‍රී ලංකාවට එන සංචාරකයන් තාවකාලිකව නතර කිරීමට පියවර ගත් අතර මෑත කාලය තුළ චීන සංචාරකයන් ගේ පැමිණීම තනි රටකින් එන දෙවැනි වැඩිම පිරිස බවට පත්ව තිබුණ බව ද ප්‍රකාශ කළ තානාපතිවරයා සංචාරක අංශය සම්බන්ධයෙන් නැවතත් සුපුරුදු රිද්මය වෙනුවෙන් සෑම පියවරක්ම ගත හැකි බව ද ප්‍රකාශ කර තිබේ. පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඩ් ගුණතිලක, චීන තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානී ලු චොන්ග් මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.   ගාමිණී සරත් ගොඩකන්ද
 

More News..